සැප්තැම්බර් මාසයේ ආදායම් වියදම් පරතරය 237%ක්

October 27, 2022 at 4:16 PM

 

පවතින තත්ත්වයන් තුළ යම් අපහසුතාවන් පැවතිය ද බදු ගෙවීම මේ මොහොතේ අවබෝධයෙන් කළ යුතු අත්‍යාවශ්‍ය කරුණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ලක්ෂ 68ක් වන රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් පවුල් 3,911,757ක් හෙවත් 57.7%ක ප්‍රතිශතයක් ජීවත්වීම සඳහා රජයෙන් ආධාර අපේක්ෂාකරති .

“අපේ රටේ සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 68ක්. ඉන් පවුල් 17,050,000ක් සමෘද්ධිය ලබමින් සිටිනවා.

තවත් පවුල් 416,867ක් වැඩිහිටි දීමනාව ලබනවා.

72,000ක් ආබාධිත දීමනාව ලබනවා. අනෙකුත් ආධාර ලබන පවුල් සංඛ්‍යාව 39,150ක්.

ඒ අනුව දැනට මේ ආධාර ලබන පවුල් සංඛ්‍යාව 2,278,817ක්. තවත් පවුල් 1,033,940ක් අලුතෙන් සමෘද්ධිය ඇතුළු විවිධ ආධාර බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව පවුල් 3,911,757ක් හෙවත් සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 57.5%ක් රජයෙන් ආධාර බලාපොරොත්තු වෙනවා.

මේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මේ රටේ සහෝදර ජනතාවගේත් වගකීමක්”

– මුදල් රාජ්‍ය අමාත්‍ය

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ රජයේ සමස්ත ආදායම රුපියල් මිලියන 171,453ක් වන අතර ඉන් 92.8%ක් උපයාගෙන ඇත්තේ බදු මගිනි.

එම මාසයේ පුනරාවර්තන වියදම සටහන් වන්නේ රුපියල් මිලියන 297,655කි.

ඒ අනුව රටේ සමස්ත ආදායම සහ පුනරාවර්තන වියදම අතර වෙනස 173%ක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි .

සැප්තැම්බර් මාසයේ රටේ සමස්ත වියදම රුපියල් මිලියන 406,609ක් වන අතර එය ආදායමට සාපේක්ෂව 237%කි.

මෙම ආදායම සොයා ගැනීම සඳහා කළ හැක්කේ බදු අය කිරීම සහ නෝට්ටු මුද්‍රණය කිරීම ය. ආහාර උද්ධමනය 100%ක් තරම් ඉහළ මට්ටමක පවතින තත්ත්වයක් තුළ නෝට්ටු මුද්‍රණය කිරීම ප්‍රායෝගික නොවන අතර එකම විකල්පය වන්නේ බදු අය කිරීම ය.

බදු ගෙවන පාර්ශ්ව පවා මේ මොහොතේ ඉන්නෙ යම් අපහසුතාවයකින් බව අපි දන්නවා. ඔවුනුත් යම් පීඩනයකින් ඉන්න බව රජය දන්නවා. ඉතින් අපට වෙන්නෙ බදු පනවමින්, ඒව පුළුවන් හැම අවස්ථාවක ම සමාලෝචනය කරමින්, යම් යම් සහනශීලි, නම්‍යශීලි පියවර අනුගමනය කරමින් රටේ සමස්ත ජනතාවම ආරක්ෂා වන පිරිදි ඉදිරියට යාම පමණයි “

යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.