යුනියන් ඇෂුවරන්ස්, විශිෂ්ට මුල්‍යමය  ප්‍රතිඵල සමග ශක්තිමත්ව ඉදිරියෙන්

April 19, 2023 at 11:41 AM

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, 2022 වර්ෂයේදීත් විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. මෙම සාර්ථකත්වය සමගින් නැවත වරක්, ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසනීය මූල්‍ය රැකවරණයක් සලසමින් ඔවුන් සවිබල ගන්වන රක්ෂණ සමාගමක් ලෙස තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමත් වී ඇත.

මෙම ප්‍රතිඵල, ප්‍රධාන අංශ රැසක කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී ඇත. සමාගමේ දළ වාරිකවල මුළු එකතුව පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 15.4 ට සාපේක්ෂව මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී රු. බිලියන 16.7 දක්වා වර්ධනය වී ඇති අතර, සාමාන්‍ය නව ව්‍යාපාර වාරික ආදායම රු. බිලියන 4.4 සිට රු. බිලියන 4.7 දක්වා වර්ධනය වී ඇත. සමාගමේ බදු-පෙර ලාභයද රු. බිලියන 2.6 සිට රු. බිලියන 3.7 දක්වා 42% කින් වර්ධනය වී තිබේ. වත්කම් ඵලදායි ලෙස නැවත වෙන් කිරීම සහ ඉහළ පොලී අනුපාත හේතුවෙන් ශුද්ධ ආයෝජන ආදායම 42% කින් වර්ධනය වී, රු. බිලියන 7.5 ක් ලෙස වාර්තා වී ඇත. ඊට අනුරූපව, සමාගමේ සමස්ත ශුද්ධ ආදායම රු. බිලියන 20.7 සිට රු. බිලියන 23.3 දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම ශක්තිමත් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගනිමින්, අවම නියාමන අවශ්‍යතාව වූ 120% ට වඩා පැහැදිලිවම ඉහළ මට්ටමක් වන 194% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් පවත්වා ගැනීමටද සමාගමට හැකි වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා කියා සිටියේ, සාර්ව ආර්ථික පරිසරයේ පැවති දුෂ්කර තත්ත්වයන් ඇතුළු සාධක රැසක් නිසා පසුගිය වර්ෂය සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයටම බෙහෙවින් අභියෝගාත්මක වර්ෂයක් වූ බවයි. “කෙසේ නමුත් එම අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙමින් සාර්ථක ප්‍රතිඵල වාර්තා කරගැනීමට අපට හැකි වුණා. අපගේ ඉදිරිගාමී හා පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශය, ඩිජිටල්කරණය,  නවෝත්පාදන නැඹුරුව සහ අපගේ කාර්ය මණ්ඩලයේ අසීමිත කැපවීම වැනි සාධක හේතුවෙන් අප සමස්තයක් ලෙස විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා. මෙම වර්ෂය තුළ අප පියවූ හිමිකම් මුදල් ඉල්ලීම්වල මුළු වටිනාකම රු. බිලියන 5.7 ක් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව 24% ක වර්ධනයක්. අපගේ රක්ෂණ හිමියන් වෙනුවෙන් ලබාදෙන පොරොන්දු අප අකුරටම ඉටුකරන බව මෙමගින් යළිත් තහවුරු වෙනවා.

“අප කෙරෙහි නොසැලෙන විශ්වාසය තැබූ ගනුදෙනුකරුවන්ටත්, සියලු බාධක හමුවේ ඔවුන්ගේ අවශ්‍යතාවන් නොපිරිහෙළා ඉටුකිරීමට කැපවුණු කාර්ය මණ්ඩලයටත් මගේ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි. මේ වර්ධන ප්‍රවණතාව ඔස්සේ ඉදිරියට යමින්, 2023 වසරේ සහ ඉන් ඔබ්බට අපගේ ක්‍රමෝපායික ඉලක්ක ළඟා කරගැනීමට අපට හැකි වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.  එමෙන්ම ශ්‍රී ලංකාවේ රක්ෂණ සේවාවන් තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට මූල්‍යමය රැකවරණය ලබාදීම අපගේ ප්‍රධානතම ඉලක්කයක්.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ජීවිත රක්ෂණ අරමුදලද රු. බිලියන 48.4 සිට රු. බිලියන 54.9 දක්වා 13% කින් වර්ධනය වී තිබේ. වර්ෂය අවසානයේදී සමාගමේ වත්කම්වල මුළු වටිනාකම රු. බිලියන 70.8 සිට රු. බිලියන 76.0 දක්වා 7% කින් වර්ධනය වී ඇති අතර, කළමනාකරණය යටතේ පවතින වත්කම්වල වටිනාකම රු. බිලියන 59.3 සිට රු. බිලියන 64.4 දක්වා 9% කින් වර්ධනය වී ඇත. 2022 මූල්‍ය වර්ෂය අවසානයේදී සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 16.4 ක් විය.

“වර්ධනයට නැඹුරු ආකල්ප, පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය නිසා, මෙහෙයුම් වාතාවරණයේ පැවති පීඩනයට සාර්ථක ලෙස මුහුණ දීමට අපට හැකි වුණා. මේ වනවිට සමාගමේ ශක්තිය සහ පුරෝගාමීත්වය විදහා දක්වමින් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන සන්ධිස්ථාන කිහිපයක්ම පසුකිරීමට අපට හැකි වී තිබෙනවා. එමෙන්ම අඛණ්ඩව දෙවැනි වරටත්, වාර්ෂික නව ව්‍යාපාර ආදායම රු. බිලියනයේ සීමාව පසුකරමින්, රටේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා ලෙස අප සතු ස්ථානය යළි තහවුරු කරගැනීමට අපට හැකි වුණා. සමස්තයක් ලෙස 2022 වසරේදී අප අත්කරගත් ප්‍රතිඵල පිළිබඳව අප බෙහෙවින් සතුටු වන අතර, අනාගතය පිළිබඳව අපට ඇත්තේ සුභවාදී දැක්මක්. ඉදිරියටත් අපගේ මානව සම්පත්, සේවාවන් සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට ආයෝජනයන් සිදුකරමින්, සියලුම පාර්ශ්වකරුවන්ට දීර්ඝකාලීන වටිනාකම් තිළිණ කරමින්, වඩාත් යහපත් ලෝකයක් බිහිකිරීමට කැපවීම අපගේ බලාපොරොත්තුවයි.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමෝපායක් භාවිතයට ගනිමින්, ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට නව ආදර්ශ රැසක් සැපයීමටද යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී ඇත. රක්ෂණ හිමියන් විසින් සමාගම වෙත යොමුකරනු ලබන හිමිකම් මුදල් ඉල්ලීම් අතරින් 91% ක්ම එක් දිනක් තුළ විසඳනු ලබන අතර, රක්ෂණ යෝජනා ඉදිරිපත් කිරීමද සම්පූර්ණයෙන්ම කඩදාසි භාවිතයෙන් තොරව සිදුකිරීමට පහසුකම් සලසා තිබේ. ක්ෂේත්‍රයේ ප්‍රථම වරට හඳුන්වා දුන් සුවිශේෂී ජංගම යෙදුමක් වන Clicklife App, තම රක්ෂණ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීමේදී ගනුදෙනුකරුවන්ට  පහසුවක් සලසයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය යන අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ශාඛා පිහිටුවා ඇති එම සමාගමේ කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 4,000 කට අධික ය. 2022 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීමට අමතරව යූනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට දේශීය හා ජාත්‍යන්තර සම්මාන 15 කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලබා ඇති අතර, සිය ගනුදෙනුකරුවන්ට නව යුගයේ රක්ෂණ අත්දැකීම් ලබාදීමට නිරන්තරයෙන් කැප වී සිටී.