ශ්‍රී ලංකාවේ දේපළ මිල ගණන්වල වාර්තාගත වැඩිවීමක් සහ දේපළ වෙළඳපොලට විදේශ රටවලින් කැපී පෙනෙන උනන්දුවක්.

May 10, 2023 at 9:50 AM

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ දැන්වීම් වෙබ් අඩවිය වන LankaPropertyWeb මගින් පලකරන ලද Sri Lanka Real Estate Market Outlook Report 2023 (ශ්‍රී ලංකා දේපළ වෙළඳපොල විශ්ලේෂණ වාර්තාව 2023) වාර්තාව අනුව, 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ දේපළ පිළිබඳව විදේශ රටවල සිටින ආයෝජකයන්ගේ උනන්දුව 40% කින් වැඩිවී ඇත.

එම වාර්තාවට අනුව, ප්‍රධාන වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල ඇති නේවාසික දේපළ පිළිබඳව වැඩිම උනන්දුවක් පෙන්නුම් කර ඇති විදෙස් රටවල් වන්නේ පිළිවෙලින්, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මැද පෙරදිග රටවල් ‍ය.

2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේදී, නිවාස සඳහා වන සාමාන්‍ය ඉල්ලුම් මිල 4.4% කින් ඉහළ නැග ඇති අතර, මහල් නිවාස සඳහා වන සාමාන්‍ය ඉල්ලුම් මිල 60.4% කින් ඉහළ ගොස් ඇත. Sri Lanka Real Estate Market Outlook Report 2023 වාර්තාවට අනුව, මෙම ඉල්ලුමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 80% කට වඩා පහත වැටීම හේතුවෙන් විදෙස් මුදල් ඒකකවලින් උපයන විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශික ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ සිය මුදල් ආයෝජනය කිරීමට පෙළඹීම යි.

‘කාලයත් සමඟ හොඳින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක වුවද වටිනාකම පහත වැටෙයි,’ යන ප්‍රසිද්ධ සංකල්පය බැහැර කරමින් Sri Lanka Real Estate Market Outlook Report 2023 වාර්තාව පෙන්වා දෙන්නේ 90’ දශකයේ අග භාගයේ සහ 2000 මුල් දශකයේ ඉදිකෙරුණු අති සුඛෝපභෝගී මහල් නිවාස වසර 15 කට අධික ආයු කාලයක් ගත කර තිබුණද, ඒවායේ වටිනාකම වැඩිවෙමින් පවතින බවයි. LankaPropertyWeb වෙබ් අඩවියේ විශ්ලේෂණවලට අනුව, සාදා නිමකර ඇති ගොඩනැගිලි මිලදී ගැනීම සහ කුලියට ගැනීම සඳහා විශාල ඉල්ලුමක් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳපොල තුල ගොඩනැගෙමින් පවතියි. මෙයට ප්‍රධානතම හේතූන් වශයෙන්, ගොඩනැගිලි ඉදිකිරීමේ වියදම 65% කට වඩා ඉහල නැග තිබීම, නිවාස ණය අනුපාත ඉහල නැග තිබීම, සහ නව මහල් නිවාස ඒකක වැඩි ප්‍රමාණයක් තවමත් ඉදිකෙරෙමින් පැවතීම දැක්විය හැක.

සංගණනවලට අනුව, නව මහල් නිවාස ඒකක 6000 කට අධික ප්‍රමාණයක් ඉදිරි වර්ෂ දෙක තුල ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳපොලට ඇතුළුවීමට නියමිත ය. මෙම නිරීක්ෂණය ද ඇතුළුව, 2025 වර්ෂයේ අග භාගය වන විට ශ්‍රී ලංකාවේ පිළිගත් මහල් නිවාස ඒකක ගණන 39,000 සීමාව ඉක්මවනු ඇති අතර, A ශ්‍රේණියේ කාර්යාල ඉඩ පහසුකම් වර්ග අඩි මිලියනයක් ද දේපළ වෙළඳපොලට ඇතුළු වීමට අපේක්ෂිත ය.

LankaPropertyWeb ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ, දහම් ගුණරත්න මහතා පවසන පරිදි, Sri Lanka Real Estate Market Outlook Report 2023 වාර්තාව සම්පාදනය කරනු ලැබූයේ LankaPropertyWeb ආයතනයේ සංවර්ධන උපදේශන සහ පර්යේෂණ කණ්ඩායම විසින් සය මසකට අධික කාලයක් මුළුල්ලේ, වර්ෂ 10 ක පමණ කාල පරිච්ඡේදයකට අදාල පර්යේෂණ, දත්ත රැස් කිරීම් සහ එම දත්ත තහවුරු කර ගැනීම් සිදු කිරීමෙන් අනතුරුව ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේපළ වෙළඳපොල කෙරෙහි 2022 වර්ෂය ඇති කරන ලද බලපෑම පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරන වකවානුවක, LankaPropertyWeb ආයතනය මගින් ඔවුන්ගේ ප්‍රථම දේපළ වෙළඳපොල පිළිබඳ වාර්තාව මෙසේ එලිදැක්වීම මගින්, ජනතාවට වර්තමාන දේපළ වෙළඳපොළ සහ එහි ප්‍රගමනය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් ලැබෙන බව ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

වාර්තාවට අනුව, දේපළ විකිණුම්කරුවන්ගේ ඉල්ලුම් මිල ගණන් මත සලකා බැලීමේදී, වැඩිම ඉල්ලුමක් පවතින දේපළ වර්ගය ලෙස නිදන කාමර තුනක් සහිත නිවාස සහ මහල් නිවාස ඒකක දැක්විය හැකි ය. 2022 වර්ෂයේ LankaPropertyWeb වෙබ් අඩවිය වෙත පිවිස ඇති ගැණුම්කරුවන්ගෙන් 42% ක් නිදන කාමර තුනක් සහිත නිවාස සහ මහල් නිවාස ඒකක සෙවීමෙහි නිරත වී ඇති අතර, කොළඹ නගරය තුළ දැනට ඇති මහල් නිවාස ඒකකවලින් 48% ක්ම නිදන කාමර තුනක් අඩංගු ඒකක වේ. LankaPropertyWeb ආයතනයේ සංවර්ධන උපදේශන සහ පර්යේෂණ අංශයේ ප්‍රධානී තරිඳු ජයරත්න මහතා පවසන ආකාරයට, 2023 වර්ෂයේ ආරම්භයේ සිට වෙබ් අඩවිය වෙත පිවිසෙන ගැණුම්කරුවන් පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ, දේපළ මිලදී ගැනීම්, කුලියට ගැනීම් සහ ඉඩම් මිලදී ගැනීම් යන සෑම පැතිකඩක්ම සැලකිය යුතු වර්ධනයකි. 2022 වර්ෂයේ දෙසැම්බර් මස හා සැසඳීමේදී මෙම වර්ධනයට 24% කින් දායක වී ඇත්තේ දේපළ මිලදී ගැනීම සඳහා ඇති ඉල්ලුමයි.

පසුගිය වර්ෂවල ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳපොල සංඛ්‍යා සමඟ සසඳා බැලීමේදී, ආර්ථික සහ දේශපාලන නොසන්සුන්කම් මධ්‍යයේ වුව ද, 2022 වර්ෂය තුල දේපළ මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ද, දේපළ මිලදී ගැනීම් ඉහළ යන උද්ධමනයට එරෙහිව ආරක්ෂාවක් වී ඇති බව ද ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳපොලෙහි අනාගතය ඉතා සුභ වන බව ජයරත්න මහතා පවතින දත්ත මත පදනම්ව නිගමනය කරයි.

ඉහත සම්පූර්ණ වාර්තාව LPW.LK/MOR23 යන වෙබ් පිටුවෙන් බාගත කරගත හැක.