සඳුදා සිට පාසල් පැවැත්වෙන ආකාරය දැනුම් දෙයි.

August 13, 2022 at 2:07 PM

2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම පිළිබදව 2022.08.13 වන දින  අධ්‍යාපන අමාත්‍යවරයා , අධ්‍යාපන ලේකම් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වී පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ද සම්බන්ධ කර ගනිමින් පහත තීරණ ගන්නා ලදී.

1. රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් 2022.08.15 වන සඳුදා දින සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පාසල් පැවැත්වේ.

2. ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත උපදෙස් ලබා දෙන ලදී.

3. 2022.08.15 දිනෙන් ආරම්භ වන පාසල් සතිය තුල ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් විසින් සහන ලබා දිය යුතු අතර, එම සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇත.

4. ඉදිරි තෙමසක කාලය තුල පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහාම යොදා ගත යුතු අතර, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දෙනු ලැබේ.