ඉන්ධන බෙදාහැරිම සම්බන්ධයෙන් ඇමති දැඩි තීන්දුවක් ගැනීමට සැරසෙයි

April 30, 2022 at 10:19 PM

ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙස බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම, සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙසටයි ඔහු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් ලබාදී ඇත්තේ.

දුම්රිය, රජය සතු බවුසර්, ඉන්ධන පිරවුම්හලට අයත් බවුසර් සහ වර්ජනයේ නොයෙදෙන පෞද්ගලික කුලියට ගත් බවුසර් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දෙනවා.

අද පස්වරු 4ට බෙදා හැරීම සඳහා භාවිතා කරන ලද මුළු බවුසර් ගණන 381ක්. රජයට අයත් බවුසර් 84ක්, ඉන්ධන පිරවුම්හල් බවුසර් 103ක් සහ කුලියට ගත් බවුසර් 194ක් වර්ජනයේ නිරත නොවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එමෙන්ම ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර ඇති අතර 95 පෙට්‍රල් සීමා කර ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර අමාත්‍යවරයා කියාසිටියේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් පෞද්ගලික බවුසර් ඉවත්වන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රම සූදානම් බවයි.

ඉන්ධන බෙදා හැරීම පාර්ශව 3ක් මගින් සිදු කරන බවයි බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ. රජයට අයත් බවුසර්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අයත් බවුසර් සහ පෞද්ගලික අංශයට අයත් බවුසර් එම පාර්ශව තුනයි.