සංචරණ සීමාවන් හෙට අලුයම ඉවත් කරනවාද ? හමුදාපති කරුණු පැහැදිලි කරයි

May 16, 2021 at 10:51 AM

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

සංචරණ සීමා පනවා තිබෙන කාල සීමාවේදී රටේ ජනතාවගෙන් ලද සහයෝගය පිලිබඳව ස්තුතිවන්ත වන බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව යලිත් ඒකරාශි නොවී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියා.

ඉදිරි සති 2-3 තුළ දී ජනතාව සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කළහොත් කොරෝනා වෛරසය පාලනය කර ගත හැකි බවයි හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ අවමව පෙන්නුම් කරනු ලබන රෝගීන්ව නිවසේ සිට ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාව ඉදිරි දිනවලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.