මෛත්‍රී – රනිල් ඇතුළු පිරිසට පාස්කු වින්දිතයින් 284ක් නඩු පවරයි

April 23, 2021 at 6:30 AM

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් වූ ජීවිත හානි සහ ශාරීරික තුවාල වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ ඥාතීන් නඩු 284ක් ගොනු කර තිබේ.

ප්‍රහාරයෙන් පසු අවුරුදු දෙකක් ඇතුළත මෙම නඩු ප්‍රමාණය ගොනු කර ඇත.

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථනයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් නඩු 102ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ. ඊට අමතරව මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රරෙයෙන් මිය ගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් මීගමුව දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩු සංඛ්‍යාව 182කි.

එම නඩුවල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවා හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම් කර ඇත.

වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා තමන්ට සිදු වූ ජීවිත හා ශාරීරික හානි වෙනුවෙන් ඔවුන්ගෙන් රුපියල් කෝටි දෙසීයක පමණ වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලමින් පැමිණිලිකරුවන් විසින් මෙම නඩු ගොනු කර තිබේ.

ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් විසින් මෙම නඩු ගොනු කර තිබේ.