දැනට ශ්‍රී ලංකාවේ භාවිතාවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා Covid-19 (COVISHIELD) එන්නත පිළිබඳව ඔබ දැනගත යුතු දෑ

February 13, 2021 at 12:53 PM

දැනට ශ්‍රී ලංකාවේ භාවිතාවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා Covid-19 (COVISHIELD) එන්නත පිළිබඳව ඔබ දැනගත යුතු දෑ යනුවෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ විසින් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබෙන සටහනයි මේ.

(2021 පෙබරවාරි 11 – ලෝක සෞඛ්‍ය සංවිධානය – The WHO Strategic Advisory Group of Experts on Immunization (SAGE) නිකුත් කල අතුරු වාර්තාව)

පළමුව එන්නත් කල යුත්තේ කාටද?

දැනට ඇති එන්නත් ප්‍රමාණ සීමිතය. එබැවින් ආසාදනයට ගොදුරුවීමට වැඩිඅවදානමක් ඇති සෞඛ්‍ය සේවකයින් සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට ලබා දීම වඩා සුදුසුය.

එන්නත ලබා දිය යුතු අනෙකුත් අවදානම් පුද්ගලයින් කවුද?

දැනටමත් වෙනත් රෝගාබාධ වලින් පෙළෙන අය (උදා: හෘද රෝග ඇති අය, නිදන්ගත ශ්වසන රෝග ඇති අය, දියවැඩියාව වැනි)

එච් අයි වී ආසාදනය වී ඇති අය, auto-immune conditions හෝ ප්‍රතිශක්තිය ඌන වී ඇති අයට (පිළිකා රෝග වැළඳී ඇති අයට) එන්නත ලබා දීම පිළිබඳව තවදුරටත් පර්යේෂණ කළයුතු අතර ඔවුන්ද අවදානම් කණ්ඩායමක් නිසා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමෙන් පසු එන්නත් කිරීම හෝ නොකිරීම තීරණය කල හැකිය.

දැනටමත් Covid-19 ආසාදනය වුනු පුද්ගලයින්ට එන්නත් කළ හැකි නමුත් ඉතා ඉක්මණින් ලබා දියයුතු අනෙකුත් අවදානම් කණ්ඩායම් වලට එන්නත් ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු නිසා ඔවුන් සඳහා මාස 6 ක පමණ කාලයක් එන්නත් කිරීම පමා කල හැක.

අධි අවදානම් කාණ්ඩයට ගැනෙන තම බිලිඳුනට මව්කිරි ලබා දෙන සෞඛ්‍ය සේවකයින් වැනි අයට එන්නත් ලබා දිය හැකි අතර එන්නත් ලබා ගැනීමෙන් පසු දරුවන්ට මව්කිරි ලබා දීම නැවැත්විය යුතු නොවේ.

ගර්භණි කාන්තාවන්ට එන්නත් ලබා දිය යුතුද?

ගර්භනිව සිටින කාලය තුල කාන්තාවන් බරපතල COVID – 19 ආසදනයකට ගොදුරු විය හැකි නමුත් එම කාලය තුල එන්නත් ලබා දීම කෙතරම් ආරක්‍ෂිත දැයි නිගමනය කිරීමට දැනට ඇති තොරතුරු ඉතා සීමිතය.

ගර්භණි මවකට Covid-19 වැළඳීමට ඇති අවදානම ඉතා වැඩි අවස්ථාවකදී (ඔවුනට ආසාදනය වැළඳීමට බරපතල අවදානමක් සහ ඔවුන් වෙනත් අබාධ වලින් පෙළෙන අවස්ථාවක) එම අවදානම එන්නත ලබාදීමෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵලවල අවදානමට වඩා වැඩි ලෙස සැලකිය හැකිනම්, ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය වරුන් සමග සාකච්ඡා කර එන්නත ලබා දීම කල හැකිය.

එන්නත් ලබා දීම නොකළ යුත්තේ කාටද?

එන්නතේ අඩංගු කිසිම සංඝටකයකට අසාත්මිකතාව දක්වන කෙනෙකු එන්නත ලබා නොගත යුතුය.

මිට පෙර අසත්මිකතාවන්ට ගොදුරු වී ඇති අය ඒ පිළිබඳව සෞඛ්‍ය සේවකයින්ට දැනුම් දිය යුතු අතර එවැන්නන්ට එන්නත ලබා දීම හදිසි අවස්ථාවකදී ප්‍රතිකාර කිරීමට පහසුකම් ඇති ස්ථානයකදී කල යුතුය.

දැනට සිදු කරමින් සිටින සහ ඉදිරියේදී සිදුකරනු ලබන අධ්‍යයන වලදී තහවුරු වන තුරු වයස අවුරුදු 18 ට වඩා අඩු අයට එන්නත් ලබා නොදේ.

එන්නත ලබා දීමට නිර්දේශිත මාත්‍රාව

එක් වරකට මාත්‍රාව මි.ලී. 0.5ක් බැගින් දෙවරකදී මාංශ පේශියක් තුලට සති 8-12 අතර කාල පරතරයක් ඇතිව ලබා දිය යුතුය.

එක්වරක් පමණක් ලබා දීමෙන් කෙතෙක් කලක් ප්‍රතිශක්තිය ලැබිය හැකිදැයි තව දුරටත් අධ්‍යයනය කල යුතුය.

මෙම එන්නත් ලබා දීම ආරක්ශිතද?

තවමත් මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා දෙනු ලබන එන්නත් ලැයිස්තුවට ඇතුලත් කර නොමැති නමුත් යුරෝපය සඳහා ඖෂධ පිළිබඳව නිර්දේශ ලබාදෙන යුරෝපීය ඖෂධ ඒජන්සිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ Strategic Advisory Group of Experts on Immunization (SAGE) තම නිර්දේශයන් ලබා දී ඇත.

යුරෝපීය ඖෂධ ඒජන්සිය මෙම එන්නතට අදාළ දත්තයන් පිළිබඳව එහි ගුණාත්මකභාවය ආරක්ෂිතභාවය සහ සඵලතාවය පිළිබඳව අධ්‍යයනය කර වයස අවුරුදු 18 වැඩි අයට ලබා දීම සඳහා නිර්දේශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්වාධීනව නිලවශයෙන් එන්නත්වල ආරක්‍ෂිතභාවය පිලිබඳ උපදෙස් ලබා දෙන උපදේශක කමිටුව (The Global Advisory Committee on Vaccine Safety) මෙම එන්නත පිලිබඳව ලැබෙන අන්තර්ජාතිකව බලපෑ හැකි සැක සහිත අතුරු අබාධ පිලිබඳ වාර්තා අධ්‍යයනය කරමින් සිටී.

එන්නත කෙතරම් සඵලතාවකින් යුතුද? එන්නම් කෙතරම් සාර්ථක භාවයකින් අසාදනය වැළඳීම වළක්වනවාද?

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා Covid-19 එන්නතට (AZD1222 vaccine) රෝග ලක්ෂණ සහිත Covid 19 ආසාදනයක් වැලක්වීමට 63.09%ක කාර්යක්ෂමතාවයක් ඇත.

එන්නත් මාත්‍රා දෙක අතර පරතරය සති 8-12 අතරදී උපරීම වන තරමට කාර්යක්ෂමතාවද වැඩිවෙන බව පෙන්නුම් කරයි.

මෙම එන්නත අළුත් වෛරස ප්‍රභේද වලටත් එරෙහිව ප්‍රතිඵල ලබා දේවිද?

Strategic Advisory Group of Experts on Immunization (SAGE) විසින් අළුතින් වෛරස් ප්‍රභේද හඳුනාගත් ප්‍රදේශවලින් ලබාගත් එන්නතෙහි කාර්යක්ෂමතාවය පිළිබඳව දැනට ඇති සියළු තොරතුරු විමර්ශනය කර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ප්‍රමුඛතාවය අනුව එන්නත් ලබා දීම තවදුරටත් කලයුතු බවට උපදෙස් ලබා දී ඇති අතර සියළු රටවලට මේ පිළිබඳව තම රටවලට අදාළ වසංගතවේදීය දත්ත අනුව අවදානම සහ ප්‍රතිලාභ ගැන සලකා කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත.

දැනට ඇති තොරතුරු අනුව අළුතින් හඳුනාගනු ලබන වෛරස පිළිබඳව ආවේක්ෂණය සහ ඇගයීම් මගින් ලබාගනු ලබන ප්‍රතිඵල හොඳින් සම්බන්ධීකරණය කලයුතු අතර එම ප්‍රභේද එන්නතෙහි සඵලතාවය කෙරෙහි දක්වන බලපෑම් අධ්‍යයනය කල යුතුය. අළුත් තොරතුරු ලැබෙන ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව තම නිර්දේශ ලබා දෙනු ඇත.

එන්නත් මගින් ආසාදනය කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරීම වලක්වනවාද?

AZD1222 එන්නත් මගින් ආසාදනය කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරීම හෝ වෛරසය දැනට ශරිරගතවී ඇති කෙනෙකුගෙන් පිටවීමට ( Virus Shedding) අදාලව තවමත් ප්‍රමාණවත් තොරතුරු ලැබී නැත.

එබැවින් එන්නත්කරන ක්‍රියාවලිය පවත්වාගෙන යන අතරතුර ආසාදනය වැලක්වීමට අදාල මහජන සෞඛ්‍ය සහ සමාජීය ක්‍රියාමාර්ග: මුඛ වැස්මක් පැළඳීම, අත් සේදීම හෝ විෂබීජනාශකයකින් දෑත් පිරිසිදුකර ගැනීම, කැස්ස හෝ වෙනත් ශ්වසන අබාධයක් ඇතිවිට අදාල ක්‍රියාමාර්ග ගැනීම, සෙනග ගැවසෙන ස්ථාන වලින් ඈත් වී සිටීම සහ හොඳ වාතාශ්‍රයක් ලැබෙන ස්ථානයක සිටීම වැනි ක්‍රියාකාරකම් තවදුරටත් එලෙසමව සහ වඩාත් හොඳින් පවත්වා ගත යුතුය.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ
Picture (AP Photo/Eranga Jayawardena, File)