180 කට අධික පිරිසක් අතුරුදහන් වූ ග්ලැසිරයේ කඩා වැටීමට හේතුව න්‍යෂ්ටික උපකරණයක විකිරණ බලපෑමක්

February 10, 2021 at 8:37 AM

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ පසුගිය ඉරිදා සිදුවූ නන්දා දේවි කඳු පන්තියට අයත් ග්ලැසිරය කඩා වැටීමේ සිදුවීම න්‍යෂ්ටික ශක්තියෙන් ක්‍රියාත්මක විකිරණශීලි උපකරණයක් මගින් හටගත් තාපය හේතුවෙන් සිදුවූවක් ද යන්න බවට සැකයක් ඇතිව තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම ග්ලැසිරය කඩා වැටීමට විකිරණශීලි උපකරණයෙන් නිකුත් වූ තාපය හේතුවන්නට ඇති බවයි චමෝලී දිස්ත්‍රික්කයේ තපෝවන් ප්‍රදේශයේ පිහිටි රයිනි ගම්මානයේ ගම්වැසියන් සැක පළ කර සිටින්නේ.

මෙම සිදුවීමට මුහුණ දුන් එම ගම්මානයේ වැසියන් ප්‍රකාශ කරන්නේ සිදුවීම වූ ඉකුත් පෙබරවාරි මස 07 වෙනිදා ග්ලැසිරයේ කඩා වැටීමත් සමග තමන්ට හුස්ම ගැනීමට නොහැකි වන ආකාරයේ වාතයේ අතිශය තද ගඳක් ග්‍රහණය වූ බවයි.

“ඇතිවූ ගඳ කෙතරම් ද කියනවානම් අපට යම් මොහොතක් ගතවන තුරු හුස්ම ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇතිවූවා. එය සුන්බුන් හා හිම නිසා ඇතිවුවක් නිසා නොවන බව කිව හැකියි. අපේ මුතුන් මිත්තන් සඳහන් කළ න්‍යෂ්ටික උපකරණය මෙම සිදුවීම පසුපස තිබෙන්නට පුලුවන්” ගම්වැසියන් පවසා සිටියේ.

1965 වර්ෂයේදී CIA සහ ඉන්දීය රහස් ඔත්තු සේවා මගින් චීනයේ ඔත්තු බැලීම සඳහා ඉන්දියාවේ දෙවන උසින් විශාලතම කඳු පන්තිය වන නන්දා දේවී වෙත රැගෙන ගොස් සවි කිරිමට උත්සහ කළ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන නිරීක්ෂණ උපකරණයක් සවිකිරිමට යාමේදී එය කඳු මුදුනේදී අස්ථානගත වූ බවට වාර්තා වී තිබුණා. ඒ එම පිරිස දැඩි හිම කුණාටුවකට මුහුණ දීම හේතුවෙනි.

එහිදී ඔවුන් ආරක්ෂා සහිතව සඟවා තිබු ඔවුන් අතින් එම උපකරණය මග හැරී තිබුණා. කෙසේ හෝ වසරකට පසුව අදාළ බුද්ධි අංශ කණ්ඩායම එම ප්‍රදේශයේ නිරීක්ෂණය සිදුකළ ද ඔවුන්ට එය සොයා ගැනීමට හැකිවී නැහැ.

න්‍යෂ්ටික ශක්තියෙන් ක්‍රියාත්මක මෙම උපකරණය වසර 100ක කාලයක්‌ ක්‍රියාත්මක බවත් එය එම කඳු පන්තියේ තවමත් ඇති බවයි සැලකෙන්නේ.

කෙසේ වුවත් රයිනි ගම්මානයේ වැසියන් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ තවමත් නන්දා දේවී කන්දේ ඇති බව කියන මෙම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක උපකරණය සොයා ගන්නා ලෙසයි. එසේ නොමැති වුවත් එමගින් ඇතිවන විකිරණශිලි තාපය හේතුවෙන් ඉදිරියේදී තවත් හිමකඳු නාය යාමේ සහ ග්ලැසිර කඩා වැටීමේ අවධානමක් පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

2018 වර්ෂයේ දී සංචාරක අමාත්‍ය සප්තාල් මහරාජ් ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ගේ අවධානයට මෙම නන්දා දේවි කඳු පන්තියේ න්‍යෂ්ටික උපකරණය මගින් හිම දියවීමේ අවධානමක් ඇති බවත් එම ජලය ගංගා නම් ගඟට එකතුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට ඉල්ලීමක් සිදුකර තිබු බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා.

පසුගිය ඉරිදා සිදුවූ මෙම ග්ලැසිරයේ කඩා වැටීම හේතුවෙන් රිෂි ගංගාවේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවූ අතර ඒ සමගම ගඟේ පිහිටි වේල්ල කඩාගෙන යෑමෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවන් 180 කට ආසන්න පිරිසක් අතුරුදහන් ව තිබෙනවා. එම අතුරුදහන් වූ පිරිස් සොයා මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.