රජයේ රෝහලක සිදුකළ අපුරු කර්ණ සංඛ බද්ධ සැත්කම

February 8, 2021 at 9:32 AM

උපතින්ම කන්දෙකෙහිම ශ්‍රව්‍යාබාධ සහිත අවුරුදු දෙකයි මාස හතරක් වයසැති කුඩා දැරියකට කන්දෙකෙහිම කර්ණ සංඛ බද්ධ සැත්කමක් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේදී ඊයේ (7) සිදුකර තිබෙනවා. රජයේ ​රෝහලකදී කන් දෙක සඳහාම මෙවැනි ශල්‍ය කර්මයක් කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි “අරුණ” පුවත්පත වාර්තා කර සිටින්නේ.

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහගේ මැදිහත්වීමෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කනිෂ්ක ඉන්ද්‍රරත්න ඇතුළු වෛද්‍යවරුන් හා දහයකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මෙම සැත්කමට දායක වී ඇත. පැය දහයකට ආසන්න කාලයක් සැත්කම සිදුකර තිබේ.

කර්ණ සංඛ බද්ධ සැත්කමේදී එක් කනක සැත්කම සඳහා භාවිත කරන උපකරණය රුපියල් ලක්ෂ 25ක් පමණ වෙයි. කන් දෙක සඳහාම උපකරණවලට රුපියල් ලක්ෂ 50ක් වැය වී තිබේ. පෞද්ගලික රෝහලකදී මෙම සැත්කම කිරීමේදී රුපියල් ලක්ෂ 75කට වැඩි මුදලක් වැය වෙයි. සැත්කම සඳහා අවශ්‍ය උපකරණ දැරියගේ දෙමාපියන් සපයා තිබේ. දැරිය කොළඹ ප්‍රදේශයේ පදිංචිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය උපතින්ම කන් දෙකෙහි ශ්‍රව්‍යාබාධ සහිත දරුවන් සඳහා සැත්කම් කිරීමේදී එක් උපකරණයක් පමණක් නොමිලේ ලබාදෙයි. එම උපකරණය උපයෝගී කර ගනිමින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා ​රෝහල හා ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල යන රෝහල්වලදී මෙතෙක් දරුවන්ගේ එක් කනක් පමණක් සැත්කම කර ඇත. එවැනි දරුවන් 1500කගේ සැත්කම් මේ වන විට සිදු කර ඇත. තවත් දරුවෝ 250ක් පමණ පොරොත්තු ලේඛනයේ සිටිති. නමුත් ලෝක සෞඛ්‍ය නිර්දේශය වන්නේ ශ්‍රව්‍යාබාධිත දරුවන්ගේ කන් දෙකෙහිම කර්ණ සංඛ බද්ධ සැත්කම එකවරම කළ යුතු බවයි.

( මුලාශ්‍ර : අරුණ පුවත්පත)