පොසිටිව් සහ නෙගටිව් : කොවිඩ් ආසාදිතව සිටි විශේෂඥ වෛද්‍යවරයෙකු මුහුණු පොතේ තැබූ ෆේස්බුක් සටහන

February 4, 2021 at 11:24 AM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු තමන්ට වෛරසය ආසාදනය වීමෙන් පසු මුහුණ දීමට සිදුවූ අත්දැකීම් සම්බන්ධයෙන් මුහුණු පොතේ විශේෂ සටහනක් තබා තිබුණා.

වෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකකින් ඇරයුම් ලැබුනද තමන් සමග ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබූ රෝහලේ සෙසු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමග නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යාමට කටයුතු කළ විශේෂඥ වෛද්‍ය රජීව දිසානායක තබා තිබු ෆේස්බුක් සටහනයි මේ,

පොසිටිව් සහ නෙගටිව්
————————————–
පීසීආර් පරීක්ෂණයකින් කෝවිඩ් ආසාදිතයෙක් ලෙස තහවුරු වෙලා මාව කෝවිඩ් මධ්‍යස්ථානයකට යොමු කෙරුනා. දැන් සම්පූර්ණ සුවය ලබලා නිරෝධායන කාලයත් අවසන් කරලා ඉන්නෙ. ගතවුනු කාලය තුල දෙවි දේවතාවුන් රැසක් මැද වන සිව්පාවුනුත් හමු උනා.
මම කුරුණෑගල රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙක්. වකුගඩු ප්‍රතිකාර ඒකක වල ස්වභාවය අනුව අපට ලොකු කෝවිඩ් අවදානමක් තිබෙන බව හොඳින්ම දැන සිටියා. එහෙම උනත් රෝගීන්ට අඩුපාඩුවක් වෙන්න අපි ඉඩ තිබ්බේ නෑ. රෝගීන්ට ළංවී පරීක්ෂා කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අවස්ථා වලදී මම කිසිම පැකිලීමක් නැතිව ඒවා කළා. කාර්‍ය මණඩලය පවා මගේ ප්‍රවේශම ගැනත් සිතන ලෙස නිතර අවවාද කළා. ආසාදනය තහවුරු වීමට කලින් සතියේ වකුගඩු බද්ධ කිරීමක් සිදු කළ නිසා ඒකකය කාර්‍ය බහුල වුනා. මෙහිදී කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ කාර්‍යයන් පවා ආවරණය කරන්න ඉදිරිපත් උනා (මේවා කියන්න අවශ්‍ය දේවල් නෙවෙයි. කියන්න හේතුව පසුවට).
ඒකකයේ කෝවිඩ් ආසාදිත රෝගීන් රැසක් වාර්තා වීමත් සමග කාර්‍යමණ්ඩලයේ ආශ්‍රිතයන් සියළු දෙනා පීසීආර් පරීක්ෂණයට භාජනය කළා. මුල් වටයේදී මා ඇතුළු කාර්‍ය මණඩලයේ එකොළොස් දෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.
පීසීආර් පරීක්ෂණය කර ප්‍රතිපල ලැබෙන තුරු මා රෝහලේ කාමරක නිරෝධායනය උනා. මේ කාලයේදී ආහාර පාන ලබා දුන් හා දුක සැප සොයා බැලූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට කණිෂ්ඨ කාර්‍ය මණ්ඩල දක්වා සියලු දෙනාටම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා.
මා ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමඟ මධ්‍යස්ථාන දෙකකින් මට පෞද්ගලිකව ඇරයුම් ලැබුනා. ඒ වගේම මා නිරෝධායනය වෙමින් සිටි කාමරයේ සියළු පහසුකම් තිබුණු නිසා, මා එහිම රඳවා තැබීමටත් යෝජනා උනා. නමුත් මගේ අදහස උනේ ආසාදිත කාර්‍ය මණ්ඩලයට සවියක් වන බැවින් මා ඔවුන් සමඟම සිටිය යුතු බවයි. විශේෂ පහසුකම් අනවශ්‍ය බවත්, මගේ කාර්‍ය මණ්ඩලය සමඟ ඕනෑම මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු සලසන ලෙසත් ඉල්ලා රෝහල්‍ විශේෂඥ සහ පරිපාලන වයිබර් කණ්ඩායම වෙත පණිවිඩයක් යොමු කලා. එම පණිවිඩය පහතින් දක්වා තියෙනවා.
මේ අනුව අප කණ්ඩායම ඇම්බියුලන්ස් රථ තුනක් මඟින් කෝවිඩ් මධ්‍යස්ථානයකට රැගෙන ගියා. ඉතාමත් කාර්‍යක්ෂමව, සුහදශීලීව හා සානුකම්පිතව මේ කටයුතු සංවිධානය කල කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන කැඳන්ගමුව මහතාට ගෞරවය පුද කරනවා. මා සමඟ දුරකතනයෙන් සම්බන්ද වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය හම්ඩානී මහතාටත් ස්තූතිවන්ත වෙනවා.
අවදානම නොතකා රාජකාරිය කළා කියලා අපි ණය ගැති වීමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ නෙ. ඉතින් රෝගී සත්කාරයේදී ආසාදනය වීමෙන් පසු, කෝවිඩ් මධ්‍යස්ථානයක් ලබා දීම ගැන කිසිවෙකුට ණය ගැති විය යුතු බව මම හිතන්නේ නෑ. එයත් සිදුවිය යුතුයි. (කාර්‍ය මණ්ඩලය සමඟ ඕනෑම මධ්‍යස්ථානයකට යෑමට මම ඉල්ලා තිබුනෙ. යවපු තැනට ගියා.)
මධ්‍යස්ථානයට යෑමෙන් පසු, පහසුවෙන් ලබා දිය හැකි දේවල් කිහිපයක් හා ඇතැම් අනවශ්‍ය නීති ලිහිල් කරන ලෙස (පෞද්ගලික හිතවතුන් මාර්ගයෙන් හා මාද නිළධාරියෙකු වන වයිබර් කණ්ඩායමක) ඉල්ලීම් ඉදිරිපත් කලා. වයිබර් කණ්ඩායමට දැමූ සැනින්, එතැන තත්වය පැහැදිලි කරමින්, වහාම ඒ පණිවිඩ ඉවත්කරගන්නා ලෙස උපදෙස් දෙන්න මිතුරෙක් කතා කළා. මම වහාම පණිවිඩ ඉවත් කරගත්තා. ඒත් එතකොටත් පරක්කු වැඩී.
දෙන්න බැරි තත්වයක් තිබුනනම්, පහසුකම් නැතුව ඉන්න එක ගැටලුවක් නෑ. ඒත් පහසුවෙන් ලබා දිය හැකි දේවල් ඉල්ලා සිටීමේ වරදක් මට නම් පේන්නේ නෑ (“නිවාඩුවක් ගත කරන්න” දේවල් නොවේ. පොදු රූපවාහිණියක්, මදුරු දැල්, පුවත් පත් ආදිය. මේවත් ඉල්ලීම් පමණයි). සියලු දෙනාගේම අදහස් විමසලා, සියලු දෙනාගේම යහපත පිණිස මිස කාටවත් අභියෝගයක් වෙන්නවත්, “පසුගාමී සිතුවිලි ඇති කරන්න” වත් ඉල්ලුවේ නෑ.
නමුත් මෙයින් කිපුනු ඇතැම් පුද්ගලයින් මා ඉලක්ක කරගනිමින් වයිබර් කණ්ඩායමේ හා වෙනත් වේදිකා වල දෝෂාරෝපණ හා අපහාස කිරීම කණගාටුවට කරුණක්. ඒ තැන් වලදී මා වෙනුවෙන් ඉදිරිපත් උනු අයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ තැන් වල කතා කරන්න අකමැති උනත්, බොහෝ අය මට දුරකථනයෙන් කතා කර දෝෂාරෝපන කළ වුන් ගැන අප්‍රසාදය පල කළා.
ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අපි හිටියේ මහත් මානසික ආතතියකින්. එක පවුලක් වගේ දුක සැප බෙදාගත් මගේ කාර්‍ය මණ්ඩලයත්, මධ්‍යස්ථානයේදී හමුවූ අන් අයත් මතක් කරන්නේ ආදරයෙන්. (වෙන්ව යන වෙලාවේ, මධ්‍යස්ථානයේදී හමුවුනු වෙනත් රෝහලක කෙනෙක් මට එවපු කවියකුත් පහතින් දක්වන්නම්. කෙටි කළක් තුළ අප අතර පුදුම බැඳීමක් ඇති උනේ). මධ්‍යස්ථානයේ කාර්‍ය මණ්ඩලයත් අපට ඉතාම හොඳින් සැලකුවා. නමුත් ඔවුන්ටත් පිටතට යෑම තහනම් නිසා වැඩි දෙයක් කරන්න ලැබුනෙ නෑ. එතැන බාරව සිටි ආර්. එච්. ඕ ලාගේ හැසිරීම ගැන නම් හැමෝම පුදුම උනා. සුහද බවක් පෙන්නුවානම් අපි කරදර කරයි කියලා හිතන්න ඇති. එතැන හෙදියන් නම් සුහදව කටයුතු කළා.
අපට සුබ පතමින් ඇමතූ සහ පණිවිඩ එවූ හිතවතුන් නිසා මහත් අස්වැසිල්ලක් තිබුනා. මේ වන විට නිවෙස් වල අයත් නිරෝධායනය වෙලා තිබුනේ. එයාලට අවශ්‍ය දේවල් ගෙන ගොස් දීමට හා උදව් කිරීමට ඉදිරිපත් වූ හිතවතුන්ටත් හද පිරි ස්තූතිය පුද කරනවා. දුර බැහැර නොතකා පැමිණෙමින්ද, ප්‍රදේශයේ ඥාතීන් හරහාද අවශ්‍ය දේ එවූ හිතවතුන්ටත් ස්තූතියි. මා කිසි දිනක දැක නැති, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්දයක් නැති, තමන්ගේ පෞද්ගලික මුදලින් පවා අපට උපකාර කළ පොලිස් නිළධාරීතුමන්ලාට විශේෂ ස්තූතිය පුද කරනවා. මෙවැනි අවස්ථාවක මෙය තමන්ගේ යුතුකමක් බව පැවසූ මොවුන් සියළුදෙනා, අපෙන් ණය ගැති වීමක් තබා වචනයෙන් ස්තූතියක් පවා අපේක්ෂා නොකිරීමට තරම් ශ්‍රේෂ්ඨයින් උනා.
අපගේ ඒකකයේ දෙවැනි වටයේ ආසාදිතයන් අනුරාධපුරයේ මධ්‍යස්ථාන වලට යොමු කළා. ඒ තැන් වල යම් අඩුපාඩු දැන්වූ සැනින්, වියරුව දෝෂාරෝපණය කරනවා වෙනුවට, ඒවා යුහුසුලුව සකස් කළ ආයතන බාර හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහතුන්ට ගෞරවය පුද කරනවා.
අපට නොයෙක් අවස්ථා වලදී පොලීසියෙන් හා බුද්ධි අංශ වලින් කතා කළා. අප සිටින මානසික මට්ටම තේරුම් ගනිමින්, ඉතාමත් සුහදශීලී ලෙස ඒ අය කතා කලා. ඇත්තටම මේ අංශ වලින් මම ඒ තරම් සහකම්පනයක් බලපොරොත්තු උනේ වත් නෑ. එකම අවුල උනේ එයාලා ජංගම දුරකථන වලින් කතා කිරීමයි. එතකොට අනන්‍යතාවය තහවුරු කරන්නෙ නෑ (කෝවිඩ් ආසාදිතයෙක් වුනු හැටියෙ හොර හතුරෙක්ට උනත් කෝල් එකක් අරන්, ආරක්ෂක අංශ වලින් කියලා ඕනෙ තොරතුරක් ගන්න පුළුවන්).
පේරාදෙණියේ මගේ නිවසට පැමිණ ඉතා ආචාරශීලී ලෙස අවශ්‍ය කටයුතු සිදුකල පී. එච්. අයි. මහතා ගැනත් සඳහන් කරන්න ඕනෙ.
ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාලයෙන් පස්සෙ මාත්, වෛද්‍ය ලිශාන්තත් එයාගෙ අළුතින් හදන ගෙදර නිරෝධායනය උනා. මේ වෙනකොට ගෙවල් වල අයගෙ පීසීආර් පරීක්ෂණ නෙගටිව් වෙලා තිබ්බ නිසා හිතට බරකුත් නෑ. හිතමිතුරන්ට පින් සිදු වෙන්න කෑම බීමත් සුපිරියටම ලැබුනා. ඒ සියළුදෙනාටත් ස්තූතියි! ඒ දවස් ටිකේ නම් ඇත්තටම හොඳ නිවාඩුවක් ගත කළා.
කාර්‍ය මණ්ඩලය අඩුව තිබියදී ඒකකය විවෘතව තබාගැනීමට වෙහෙසුනු විශේෂඥ වෛද්‍ය නාලක හේරත් ඇතුළු ඉතුරු උනු කාර්‍ය මණ්ඩලය විශේෂ ඇගයීමකට ලක් වෙන්න ඕනෙ. (ඒකකයේ කෝවිඩ් පොකුර හඳුනාගැනීමට සතියකට කලින් වකුගඩු බද්ධ කිරීමක් කළා. අලුත් වකුගඩුව ප්‍රතික්ෂේප (reject) වීම වලක්වන්න එයාගේ ප්‍රතිශක්තිය හොඳටම අඩපණ කරලා තිබ්බේ. එයටත් කෝවිඩ් ආසාදනය උනා. ඒත් නාලක ඇතුලු කණ්ඩායමේ දක්ෂකම නිසා එයත් හොඳින් ඉන්නවා.)
මගෙ පීසීආර් පරීක්ෂණයේ සීටී අගය අනුව බොහොම කෙටි කාලයක් තමා ආසාදනය වෙලා තිබුනෙ. දවස් ගණනක් ගෙදර නොගිය නිසා එයාලට අවදානමක් තිබුනෙ නෑ. කොහොමත් එයාලා නිසි පරිදි නිරෝධායනය වෙලා, ආසාදිත නැති බවට පීසීආර් පරීක්ෂණ වලිනුත් තහවුරු කරගත්තා. ඒ නිසා එයාලා හමුඋනොත් මඟ හැරලා යන්න ඕනෙ නෑ! (විශේෂයෙන්ම, පාසැල් වලදී කෝවිඩ් ආසාදිතයන්ගේ දරුවෝ කියලා ලේබලයක් ගැහුවොත් එයාලට තදින් බලපායි. එහෙම කරන්න එපා කියලා මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා).
අපි සම්පූර්ණ සුවය ලබලා ඉන්නවා, ඔක්සිජන් නැතුව ඉන්න බැරිකම මිසක් (වායුගෝලීය ඔක්සිජන් 😊 ). නිසි කාලය නිරෝධායනය වුන නිසා දැන් අපෙන් කෝවිඩ් බෝ වීමේ අවදානමක් නෑ.
ගත කළ අසීරු කාලය තුළ අපට නොයෙක් අයුරින් උදව් පදව් කළ, කතා කරලා, මෙසේජ් කරලා ධෛර්‍යමත් කළ අයත්, අපත් සමඟ මේ අත්දැකීම බෙදාගත් අයත් කවදාවත් අමතක වෙන්නෙ නෑ.