හිටපු SIS ප්‍රධානියා සිය ජංගම දුරකථනයේ දත්ත මකා දමලා : පරිඝණකයේ තිබු ලිපිගොනුවල කරුනුත් වෙනස් කළ බව හෙළිවේ

December 17, 2020 at 6:11 PM

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ගේ ජංගම දුරකථනයේ අන්තර්ගත දත්ත, “Factory Reset” කිරීමක් මගින් යළි ප්‍රතිඋත්පාදනය කළ නොහැකි අන්දමට විනාශ කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ වෝහාරික විශ්ලේෂණයේදී තහවුරු වී තිබේ.

ඒ පිළිබඳව සාක්ෂිදෙමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ ජනාධිපති කොමිසම විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළ දත්ත එම දුරකථනයේ ඇත්දැයි පරික්ෂාවට ලක්කරන ලෙස දැන්වුව ද දුරකථනය “Factory Reset” කර තිබීම තුළින් දත්ත ලබාගැනිමට බාධා එල්ල වු බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පෙර භාවිත කරන ලද ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට වැදගත් තොරතුරු ඇත්දැයි පරික්ෂා කරන ලෙස ජනාධිපති කොමිසම මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

ඒ අනුව, අදාළ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය සම්බන්ධයෙන් වෝහාරික විශ්ලේෂණය සිදුකළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර ඊයේ (16) සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියා.

එහිදි කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන භාවිත කළ ජංගම දුරකථනය වෝහාරික විශ්ලේෂණයක් සිදුකිරීමට තමාගේ අතට පත්වන විටත් “Factory Reset” කිරීමකට ලක්කර තිබු බවය.

ඒ අනුව, එහි ඇතුළත් දත්ත සහ තොරතුරු නැවත ලබාගත නොහැකි අන්දමට විනාශකර තිබු බව සාක්ෂිකරු අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් ජනාධිපති කොමිසම නියෝග කර තිබු අන්දමට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට වැදගත් වන දත්ත හෝ තොරතුරු එම ජංගම දුරකථනය තුළ අන්තර්ගතව පැවතියේද, නැද්ද යන්න සොයා ගැනීමට බාධා එල්ල වු බවයි.

වෝහාරික විශ්ලේෂණය පිළිබඳ සාක්ෂි දෙමින් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ අදාළ ලැප්ටොප් පරිගණකය තුළ ගොනු ලක්ෂ 26 ක් පමණ පැවති අතර ඉන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත නොවන පාස්කු විමර්ශනයට අදාළ වන ගොනු 210 ක් තමා ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරින්ට ලබාදීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් එම ගොනු 210 ට ඇතුළත් “Documents” බහුතරයක “Modification Date” එක වෙනස්වීම තුළ ලේඛන බොහෝමයක අභ්‍යන්තර කරුණු පසු කාලිනව වෙනස් කිරීමකට ලක්ව ඇති බව පෙන්නුම් කළේ යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ජංගම දුරකථන “Factory Reset” කිරීම සම්බන්ධයෙන් ඔබ එහි අයිතිකරුවන නිලන්ත ජයවර්ධන ගෙන් විමසීමක් කළේ ද යන්නය.

“ඔව් ස්වාමිනි මම එවැනි විමසීමක් කළා. එහිදී නිලන්ත ජයවර්ධන මහතා කිව්වා ඔහු භාවිත කළ ජංගම දුරකථනය සිය බිරිඳගේ භාවිතය සඳහා ලබාදීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු එහි අන්තර්ගතව පැවතිය හැකි හෙයින් එය “Factory Reset” කිරීමකට ලක්කළා කියලා,” යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා කියා.

එහිදී කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා යළිත් ප්‍රශ්නයක් යොමුකරමින් විමසුවේ ලැප්ටොප් පරිගණකය තුළ දත්ත මැකීමක් සිදුකර තිබුණේ ද යන්නය.

“ඔව් ස්වාමිනි “Recover” කරද්දි බොහෝ දත්ත මකා දමා තිබිලා හම්බවුණා. නමුත් ඒවා කුමන අරමුණකින් මකා දැමුවාද කියන්න මම දන්නේ නැහැ,” යැයි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පිළිතුරු දුන්නේය.

“ඔබගේ අවසන් නිගමනය වෙන්නේ මේ උපකරණ දෙකේම මුල් දත්ත මකලා කියන එකදැයි” අභියාචනාධිකරණ ‍විනිසුරුවරයා යළි විමසීමත් සමග ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස පිළිතුරු දුන්නේය.

“ස්වාමිනි, ජංගම දුරකථනය සම්බන්ධයෙන් නම් එම ප්‍රශ්නයට පිළිතුර ඔව්. පැරණි දත්ත මකලා. “Factory Rest” කිරීම තුළින් ඊට පෙර එහි තිබු කිසිඳු තොරතුරක් යළි ලබාගන්න බැහැ. නමුත් පරිගණකයට අදාළවනම් එහෙම නැහැ. ඇතැම් දත්ත ප්‍රතිඋත්පාදනය වෙනවා. එහෙත් එය තුළත් ඇතැම් දත්ත ප්‍රතිඋත්පාදනය වෙන්නේ නැහැ” යැයි සම්පත් කුමාර මහතා කරුණු පැහැදිලි කළේය.

මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේ අදාළ ජංගම දුරකථනයේ ඇතුළත් දත්ත කිසිදු අකාරයකින් නැවත ලබාගත නොහැකිද යන්නය.

“ලංකාවේ අපි භාවිත කරන මෘදුකාංග තුළින් බැහැ. ඊට වඩා දියුණු මෘදුකාංග තුළින් පුළුවන්. තව දෙයක් මම මේ වෝහාරික පරික්ෂණයේදී කිසිම අකාරයකින් උපකරණ අන්තර්ජාලයට සම්බන්ධ කළේ නැහැ. ඒකට වෝහාරික පරික්ෂණය සඳහා ලැබෙන නියෝගයේ විශේෂ අවසරයක් ඕනේ. ජනාධිපති කොමිසම තම නියෝගයේ එහෙම අවසරයක් දීලා තිබුණා නම් මට යම් අකාරයකට අන්තර්ජාලය හෝ වෙනත් ජාලයකට සම්බන්ධ වී දත්ත ප්‍රතිඋත්පාදනය කිරීමට යම් උත්සහයක් ගන්න තිබුණා,” යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කරුණු පැහැදිලි කළේය.

මේ අතර, වැඩතහනමකට ලක්ව සිටින හිටපු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඊයේ (16) ජනාධිපති කොමිසම හමුවේ අවසන්වරට සාක්ෂි ලබාදුන් අතර එහිදි කොමිසමේ සාමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරිය විමසුවේ ඔබට මුහුණදීමට සිදුවු සිදුවීම් යම් දේශපාලන කුමන්ත්‍රණයක් යැයි උපකල්පනය කළ හැකිද යන්නය.

“ස්වාමිනි දේශපාලනික වශයෙන් තමයි මේ කුමන්ත්‍රණය ආවේ. 2015 පෙබරවාරි 27 ඉඳල ම මම හිටියේ අළු යට ගිනි තත්ත්වයක. මම මගේ රාජකාරිය කළා, නමුත් මට රෙදි හෝදන වලං හෝදන වැඩ කරලා පුරුදු නැහැ. ඒ හින්දම මගෙන් බලාපොරොත්තු වුණු සමහර වැඩ මම මඟ හරිද්දී දේශපාලනඥයෝ මාත් සමග වෛර බැඳගත්තා. අවසානයේ අභූත චෝදනාවක් ගෙනාවා. මට තේරෙන්නේ නැහැ ඝාතන කුමන්ත්‍රණයක් කරන්නේ කොහොමද කියලා ඒ වගේ පුද්ගලයෙක් එක්ක. අඩුම ගානේ පරෙයියෙක් අල්ලගන්න උත්සහ කරන්නවත් බැහැ ඒ වගේ පුද්ගලයෙක් එක්ක. ඒකත් වටේටම කියයි,” යැයි නාලක ද සිල්වා මහතා පිළිතුරු දුන්නේය.