ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට පෞද්ගලික අංශයේ රෝහල් වලට මාර්ගෝපදේශ නිකුත් කරයි

December 1, 2020 at 9:26 PM

කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනාගැනීම සඳහා යොදා ගැනෙන ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ’ පුද්ගලික අංශයේ ආයතන සඳහා සිදුකිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (01) නිකුත් කෙරුණි.

ඒ අනුව, පුද්ගලික අංශයේ ආයතනවල ඉල්ලීම පරිදි, පෞද්ගලික අංශයේ රෝහල්වලට ද ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ‘ එම මාර්ගෝපදේශ යටතේ සිදුකිරීමට අවසර ලැබේ.

කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමග ලෝක සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වූ කරුණක් වූයේ මෙම වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියයි. එම ව්‍යාප්ති වේගය අවම කිරීමට නම් රෝගීන් හඳුනා ගැනීම ද වේගවත් විය යුතු බව ලෝක සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නේ.

ඒ සඳහා වැදගත් පරික්ෂාවක් ලෙස ”ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය” ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනුමත කරනු ලැබුවා.

මෙරට ද වෛරස ව්‍යාප්තිය උග්‍ර වීමත් සමග “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ” මඟින් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේ.

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට පුද්ගලික අංශයේ ආයතනවලට අවස්ථාව ලබාදෙමින් ”ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ” සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද නිකුත් කරනු ලැබීය.

එම මාර්ගෝපදේශ පහතින් දැක්වේ.

1. පුද්ගලික ආයතනයකට සේවකයින් ඇතුළුවීමේදී කොවිඩ් ආසාදිතයෙකු බවට සැකසහිත රෝගී ලක්ෂණ ඇති අයෙකු වේ නම් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ යුතුය.

2. පරීක්ෂාවට යොමුකරන පුද්ගලයින්ගේ තොරතුරු සහ පරීක්ෂණ ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට, දිස්ත්‍රික් වසංගත රෝගවේදියාට සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට යොමු කළ යුතුය.

3. ආසාදිත බව තහවුරු වන්නේ නම් අදාළ අංශ දැනුවත් කර ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.

4. ආයතනයක කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ හැකිය.

5. ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින කර්මාන්තශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ මත PCR පරීක්ෂණ සිදුකළ යුතුය.

6. යම් කර්මාන්තශාලාවක් කොවිඩ් අධි අවදානම් කලාපයක පිහිටා ඇත්නම් එහි සේවක පිරිසෙන් 10% ක් දක්වා පිරිසකට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා සිදුකළ හැකිය.