අර්ථසාධක අරමුදලේ අවසන් ශේෂය අවුරුදු 55න් නොලැබෙන හැඩක්

November 22, 2020 at 11:57 AM

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති පරිදි පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩි වුවහොත් වයස 55 න් අර්ථසාධක අරමුදලේ අවසන් ශේෂය ගැනීමට අවස්ථාව නොලැබෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට සඳහන් කළේය.

අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු අවුරුදු 60 දක්වා වැඩි කළ පෞද්ගලික අංශයේ විශ‍්‍රාම ගැනීමේ වයස නීතිගත කිරීමට රජය කටයුතු කිරීමට නියමිතය.

මේ වෙනස නිසා සේවකයන්ගේ අර්ථසාධක අරමුදල්වලටත් කිසිම හානියක් සිදු නොවන අතර ඔවුන් වයස 60 දී විශ‍්‍රාම ගැනීමේ දී එම මුදල් සුපුරුදු පොලිය ද සමග ලබා ගත හැකිය.

පෞද්ගලික අංශයේ අනිවාර්ය විශ‍්‍රාම ගැනීමේ වයස 60 දක්වා ඉහළ නැංවීමට අර්ථසාධක පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය නීතිගත කෙරෙනු ඇත. එය ඉදිරි කාලයේ සිදු වනු ඇති බවත් මේ අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කාලයක් සේවය කිරීමට අවස්ථාව සැලසෙන බවත් එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

පෞද්ගලික අංශයේ දැනට කාන්තාවෝ වයස අවුරුදු 50 න් සහ පිරිමි වයස අවුරුදු 55 න් රාජ්‍ය අංශ සේවකයන්ට පෙර විශ‍්‍රාම ගනිති. නව සංශෝධනය සමග එසේ කාන්තා සහ පිරිමි ලෙස වෙනසක් නැතුව රාජ්‍ය සේවකයන් මෙන් පෞද්ගලික සේවකයන්ගේ විශ‍්‍රාම ගැනීමේ වයස එක සමාන තත්ත්වයට පත් වේ. මෙය පනත සංශෝධනය කර නීතිගත කිරීමෙන් පසු පෞද්ගලික අංශයේ සේවකයන් විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස අනිවාර්ය වන අතර එය අයවැයෙන් ඉදිරිපත්ව ඇති රජයේ ප‍්‍රතිපත්තිය බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

උපාධිධාරීන්ට රජය රැුකියා දෙන අතර අඩු අධ්‍යාපන සුදුසුකම් තියන අයට පවා රජය රැුකියා ලබා දීම ආරම්භ කර ඇත. ඒ නිසා රැකියා වෙළෙඳපොළට එන පිරිස තව අඩු වෙන බවත් රජය ඒ පැත්තත් බලා ජනයාගේ ආයු අපේක්ෂාව වැඩි වීම් ද සලකා පෞද්ගලික අංශයේ මෙම අනිවාර්ය විශ‍්‍රාම ගැනීමේ වයස 60 දක්වා වැඩි කර තිබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

(මුලාශ්‍ර : ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින පුවත්පත)