දෑස් නොපෙනුනත් මැතිවරණ රාජකාරියේ යෙදුනු “මහේෂ්”

August 16, 2020 at 10:04 AM

රටේ පවත්වන හැම ඡන්දයකදීම ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඡන්ද ගනින්නෙ පත්තල ගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදීය. පහුගිය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කළ හයවෙනිදා උදේ වරුවේ අටේ කණිසම වදිනකොට මැතිවරණ රාජකාරියට සඳහා අපූරු අමුත්තෙක් මේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළුවන්නට ආවේය. අළු පාට කලිසමකිනුත් ක්‍රීම් පාට කමිසයකිනුත් සැරසී ආ ඔහුගේ අතේ සුදු සැරටියක් තිබුණේය. සුදු සැරයටිය නිසා ඒ ඇස් නොපෙනෙන අයෙකු බව කාටත් හැඟුණත් සාමාන්‍යයෙන් ඇස් පෙනීම අහිමි බොහෝ දෙනෙක් පලඳින කළු උපැස් යුවළ මේ අමුත්තාගේ දෑසේ නම් නොවීය. එසේ උපැස් යුවළක් නොපැලැන්දේ තම නොපෙනෙන දෑස් ලෝකයෙන් වසන් කර ගැනීමේ වුවමනාවක් නැතුවා සේම දෑස නොපෙනීම ලෝකයක් ඉදිරියේ නැගී සිටින්නට ගැටලුවක් නොවේ යැයි කියන්නට වාගේය.

සාමාන්‍යයෙන් ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුල් වන්නකුට එතුළට යන්නට නම් ආරක්ෂක නිලධාරින්ට අවසර පත්‍ර පෙන්වා අවසර ලැබෙන්නට ඕනෑය. මේ අවසරය නැතුව ඊට ඇතුළු වෙන්නට සක්කරයා ආවත් බැරිය. ඒත් මේ දෑස් නොපෙනෙන අමුත්තාට එහි සිටි ආරක්ෂක නිලධාරීන් බාධා කළේ නැත. වතගොත විමසුවේ නැත. කිසිම කරදරයක් නැතුව ඔහු ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළු වූවේය. ඒ ශ්‍රී ලංකාවේ පළවෙනි වරට මැතිවරණ රාජකාරී කරන්නට ආ ලංකාවේ දෑස් නොපෙනෙන පළමු මැතිවරණ නිලධාරියාය. ඔහු එස්. ඒ. මහේෂ් රත්නසිරිය.

මැතිවරණ රාජකාරියට ආ මහේෂ් තමන්ට නියමිත අසුනේ ඉඳගත්තේය. දෑස් නොපෙනුණා කියා නැත, ඔහුට පැවරුණ රාජකාරියද හරි හැටියට නිමා කොට ආවා සේම ඔහු පිටව ගියේය. ඒත් ඔහුව එහි සිටි කාටත් හොඳින්ම මතකයේ රැඳුණු චරිතයක් වුණේය. ඒ නිසාම සති අග අරුණ මැතිවරණ රාජකාරී කළ මේ අන්ධ මැතිවරණ නිලධාරියා සොයාගත්තේය. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි. දෑස නොපෙනෙ නමුත් දරුවන්ගේ දෑස් පාදන්නට වෙහෙසෙන ඔහු උගන්වන්නේ ගම්පහ කළගෙඩිහේන ධර්මාශෝක විද්‍යාලයේය. එහි මාධ්‍ය අංශය භාර ගුරුවරයා මහේෂ් ය.

“මම ඉපදුනේ ගම්පහ කළගෙඩිහේන ගමේ. ඉපදුනේම ඇස් පෙනීම අහිමි වෙලා කියලයි කියන්නෙ. අම්මයි, තාත්තයි, අක්කල දෙන්නයි මගේ පවුලෙ අය. අම්මල, තාත්තල මගේ ඇස් පෙනීම ලබාදෙන්න උත්සහ කළත් ආර්ථික අපහසුතා නිසා ඒ දේ කරගන්න බැරි වෙලා තියෙනවා. ”

” මම ඉස්කෝලෙදි අනෙක් ළමයි එක්ක සාමාන්‍ය විදියට ඉගෙනගත්තා. ඒත් ඒ කාලේ මටම ගෙන්වපු බේල් උපදේශක කෙනෙක්ගෙන් මම බ්‍රේල් සංඥා ඉගෙන ගත්තා. ”

බ්‍රේල් ක්‍රමයට ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළ ඔහු ඊළඟට ගියේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයට හා යක්කල අනුර මහා විද්‍යාලයටය. ඒ එම පාසල් දෙකටම පළමුවරට ඇතුළත් වූ දෑස් නොපෙනෙන ශිෂ්‍යයා ලෙස වාර්තාවක් ද තබමිනි. ඊළඟට ඔහුගේ ඉලක්කය වූයේ සරසවි වරම් ලැබීමය. ඔහුට ඒ ඉලක්කය සපුරාගැන්මට ද අපහසු වූයේ නැත.

“මම තේරුණේ කැලණිය කැම්පස් එකට. ජනසංනිවේදනය, බෞද්ධ සංස්කෘතිය හා සිංහල විෂයන් හැදෑරුවේ. මම සිංහල විෂයෙන් ගෞරව උපාධියක් ලබා ගත්තා. මේ විදියට ඉගෙන ගන්න මට හරිම අපහසු වුණා. මොකද විශේෂ අවශ්‍යතා තියන අයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ පහසුකම් අඩුයි. මම සමහරක් සටහන් යාළුවොන්ට කියල කියවගෙන ඒව බ්‍රේල් ක්‍රමයට කෙටි සටහන් කර ගත්තා. කොහොමහරි නොයෙක් දුෂ්කරතා මැද්දෙ මම එක්දාස් නමසිය අනූනමයේදි මගේ උපාධිය සම්පූර්ණ කරගත්තා”

අපේ රටේ උපාධි ගත්ත ගමන් නම් ඇස් දෙකම පේන අයටත් රැකියා ලැබෙන්නේ නැත. ඒ නිසා විශේෂ අවශ්‍යතා ඇති අයෙක්ට රැකියාවක් ලැබෙන්නට තියන අවස්ථාව තවත් අවමය.

“මම රස්සාවක් නැතුව උපාධිය අරන් අවුරුදු පහක් හිටියා. මට ගුරු පත්වීමක් ලැබුණෙ දෙදාස් පහ අවුරුද්දෙ. ඒ එවකට ජනාධිපති වෙලා හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා රැකියා හතලිස් දෙදාහක් දීපු වෙලේ. නීතියක් තියනවා රජයේ රැකියා ලබා දෙනකොට ඒ රැකියා වලින් සීයට තුනක් විශේෂ අවශ්‍යතා තියන අයට දෙන්න ඕන කියල. කොහොමහරි මට ගුරුපත්වීමක් ලැබුණා.

මේ අතරෙ ඒ කාලෙ කළගෙඩිහේන ධර්මාශෝකෙ හිටිය විදුහල්පතිතුමා මට කිව්වා පාසලේ මාධ්‍ය ඒකකය භාරගන්න කියල. මම ඔය සවුන්ඩ් සිස්ටම් එක්ක ගනුදෙනු කරන්න කැමති කෙනෙක්. ඒ නිසා කැමැත්තෙන්ම ඒක භාර ගත්තා.”

පොතේ හැටියට අපේ රටේ රජයේ ගුරුවරුන්ගේ නාම ලේඛන දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලට යොමු කරන්නෙ මැතිවරණ රාජකාරියට සඳහාය. ඒ රාජකාරියට අනුමත වූවාට පසු දේවකාරි පැහැර හැරියත් මේ රාජකාරි පැහැර හැරීම බොරුය. රාජකාරියට එන්නට බැරි නම් නිදහසට හේතු සාක්ෂි සමගම ඉදිරිපත් කරන්නට අවශ්‍යය. සාමාන්‍යයෙන් මැතිවරණ රාජකාරි ලේඛනයේ විශේෂ අවශ්‍යතා ඇති අයව විශේෂ අවශ්‍යතා ඇති යැයි සඳහන් කරවයි. ඒ ලේබලය දකින නිලදරුවෝ ඔවුන් මැතිවරණ රාජකාරියෙන් නිදහස් කරන්නෝය. කලාතුරකින් හෝ විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක්ට මැතිවරණ රාජකාරියට කැඳවීමක් ලැබුවද ඒ තැනැත්තන් තමන්ගේ ආබාධිත බව ගැන සඳහන් කර මැතිවරණ රාජකාරියෙන් නිදහස් වෙයි. එහෙත් එස්. ඒ. මහේෂ් රත්නසිරි මේ රටේ වෙන කවුරුවත් නොකළ දෙයක් කළේය.

“මට මැතිවරණ රාජකාරියට කැඳවීම් ලැබුණම අපේ විද්‍යාලයේ සමහරු ඒකට හිනාවුණා. තවත් කට්ටියක් මාව දිරිමත් කළා. මේ හිනාවෙච්ච අය හිනාවුණේ ඒගොල්ලන්ගෙ වරදක් නිසා නෙවෙයි. අපේ සමාජය විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක් ගැන දක්වන ආකල්ප නිසා. කොහොම හරි මම විශේෂ අවශ්‍යතා ඇති අයෙක් කියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැන්නුවහම ඒ ගොල්ලො මාව මැතිවරණ රාජකාරියෙන් ඉවත් කරන්න හැදුවා. මම ඒ වෙලාවෙ නිලධාරීන් එක්ක සාකච්ඡා කළාට පස්සෙ මට ලංකාවෙ පළවෙනි දෑස් නොපෙනෙන මැතිවරණ නිලධාරියා ලෙස රාජකාරි කිරීමේ වාසනාව ලැබුණා.

සාමාන්‍යයෙන් මැතිවරණ රාජකාරි කරන ස්ථාන වලට පිටස්තරයන්ට ඇතුල් වීම තහනම්. ඒත් මට විශේෂ අවසරයක් හිමි වුණා. මගේ පාසලේ දරුවො දෙන්නෙක් ඒ ස්ථානයට රැගෙන යන්න. ඒ ළමයි අපේ පාසලේ මාධ්‍ය ඒකකයේ ළමයි දෙන්නෙක්. මට සාමාජයේ අනෙක් අය එක්ක ගනුදෙනු කරනවාට වඩා මේ අය එක්ක ගනුදෙනු කරන එක පහසුයි. ඒ අය මේ රාජකාරියට ගොඩක් උදව් දුන්නා. මම කළේ මැතිවරණ රාජකාරියේ යෙදෙන අයට නිවේදන නිකුත් කිරීම. මාත් එක්ක මේ රාජකාරි කරන්නට තවත් නිලධාරියෙක් හිටියා. ඒ සියලු දෙනාම මාත් එක්ක ඉතා සුහදත්වයක් තියාගෙන කටයුතු කළා. මම දින තුනක් ඒ විදිහට මැතිවරණ රාජකාරියේ යෙදුනා.

මට ඇත්තටම මේ මැතිවරණ රාජකාරියේ යෙදෙන්නට ලැබීම ගැන හරිම සතුටුයි. ඊළඟ මැතිවරණ වලත් මම රාජකාරියේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා .

මහේෂ් ලැබූ අත්දැකීමත් සමග ඔහු දේශපාලන අධිකාරියෙන් හා පරිපාලන ක්ෂේත්‍රයෙන් ඉල්ලීමක්ද කරයි. ඒ විශේෂ අවශ්‍යතා ඇති අයව වෙනස් කොට නොසලකා ඔවුන්ටත් සාමාන්‍ය මිනිසුන් හා එක්ව වැඩ කරන්නට අවස්ථාව ලබා දෙන ලෙසයි.