දැරිය මිය යාමේ සිදුවීමට මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව රිමාන්ඩ්

March 1, 2021 at 2:32 PM

දෙල්ගොඩ, මීගහවත්ත ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුර දී 09 හැවිරිදි දැරියක් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අද මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 12 වැනිදා දක්වා බන්ධනාගාරගත කර තිබෙනවා.

අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසමින් ශාන්තිකර්මයක් සිදුකළ කාන්තාවක් එල්ල කළ වේවැල් පහර හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි දැරියක් මීට දින දෙකකට ඉහතදී මරණයට පත්වුවා.

අදාළ දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද දිනයේ දී රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 6ක් පොලීසිය විසින් ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.