රෝගීන් පොකුරු ලෙස හමුවුවත්, කොව්ඩ් වෛරසය තවම සමාජ ගතවෙලා නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියයි

January 17, 2021 at 3:15 PM

කොව්ඩ් -19 වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ පවතින අතර වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

“ලංකාව දැනට ඉන්නේ පොකුරු තත්ත්වයේ. සියලු දෙනාම දන්නවා, බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතව පටන්ගෙන පෑලියගොඩ මාළු වෙළෙඳසැළට ඇවිල්ලා ඊට පස්සේ කොළඹ ප්‍රදේශවලට ආවා. දැන් අපි දකිනවා කොහේ හරි තැනක කේස් එකක් ආවාම පොකුරක් ඇති වෙනවා. අපි අවදානම් කලාපවලට ගිහිල්ලා මේ සාම්පල් කරන නිසා තමයි අපි මේ පොකුරු හොයා ගන්නේ. එහෙම අතහැරියා නම් තමයි මේක සමාජගත වෙන්නේ.” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

මේ අතර කොවිඩ් -19 වෛරසයට එරෙහිව භාවිත කිරීම සඳහා සාර්ථකම හා වඩා ආරක්ෂාකාරි එන්නතක් මෙරටට ගෙන්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය යන රටවල් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළා.

“ඉතාමත්ම ආරක්ෂාකාරී එන්නතක් තමයි අපි ගේන්න බලාපොරොත්තුවෙන්නේ. තාම අපිට කියන්න බැරි කොයි එන්නත කවදා එනවද කියන එක විතරයි. අනෙක් කටයුතු සියල්ලක්ම සූදානම් වෙමින් පවතින්නේ.”