බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල උපකාරක පන්ති ජනවාරි 25 සිට ඇරඹීමට අවසර

January 16, 2021 at 5:51 PM

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට අදාල චක්‍රලේඛණය ඊයේ (15) දින නිකුත් කළ බවත් ඒ අනුව මෙම මස 25 වෙනිදා දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.

” ඊයේ (15) දිනයේ උපකාරක පන්ති පැවැත්විම උදෙසා අවශ්‍ය චක්‍රලේඛණය නිකුත් කරා. එම චක්‍ර ලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සදහා ජනවාරි මස 25 දින සිට අවසර ලබාදී තිබෙනවා. උපකාරක පන්තියකට සහභාගි කර ගත හැක්කේ ඉදගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් සියයට 50 ක් සහ උපරිම සංඛ්‍යාව ළමුන් 100 ක් දක්වා පමණයි.

මෙම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සදහා පමණක් විවෘත කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. අනතුරුව රටේ පවතින තත්ත්වයත් සමග අනෙකුත් උපකාරක පන්ති විවෘත කළ හැකියි.

උපකාරක පන්ති පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරිම යන ක්‍රියාවලින්ට අදාල මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ සියළු දේ චක්‍රලේඛයේ අඩංගු කර තිබෙනවා. මෙම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනටත් කොවිඩ් රෝගීන් යම් යම් ස්ථාන වලින් වාර්තා වන අවස්ථාක තමයි මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ.

එබැවින් උපකාරක පන්ති වෛරසය පැතිරීමේ අවධානම් මධ්‍යස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම සියළු දෙනාගේ වගකීමක් වනවා. උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නැහැ. එම දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ.” යැයි මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වනවා. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමට දැනට තීන්දු කර තිබෙන්නේ. මේ සියළු දේ තීරණය කිරීමේ හැකියාව පවතින්නේ රටේ පවතින තත්ත්වය අනුව බව පැවසූසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යම් කිසි ප්‍රදේශයක් හුදෙකලා කර හෝ සංචරණය සීමා කොට තිබේ නම් එම පළාතේ තිබෙන උපකාරක පන්ති පැවැත්විය නොහැකි බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.