කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු සිදු නොකරන බව ජනපති අවධාරණය කරයි

January 13, 2021 at 5:13 PM

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබිණ. විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වූ බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබු බවත් තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ජනාධිපතිතුමා සඳහන් කළේ. ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ජනාධිපතිතුමා පැහැදිළි කර සිටියා. නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වෙයි. 9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන් වේ.

ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ. ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නැයි කී ජනාධිපතිතුමා සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන්නා.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව මෙහිදී ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ කියා සිටියා. පසුගිය රජය මත්තල ගුවන් තොටුපොළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.