රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දිලිත් ජයවීර සහ ඩයන් ගෝමස්

November 25, 2020 at 8:17 AM

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති දිලිත් ජයවීර හා දැනට ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා සහ නෙස්ලේ පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කරන ඩයන් ගෝමස් පත් කොට තිබෙන බව “අරුණ පුවත්පත” වාර්තා කර තිබෙනවා.

මෙරට සාර්ථක ව්‍යවසායකයින් දෙදෙනෙකු වන දිලිත් ජයවීර සහ ඩයන් ගෝමස් ව්‍යාපාර කේෂ්ත්‍රයේ මෙන්ම කළමනාකරණ කේෂ්ත්‍රය තුල නමක් දිනා සිටිනවා.

ඩයන් ගෝමස් Mas Holdings ව්‍යාපාරයට අයත් Hela Clothing ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ, එක්සත් රාජධානියේ වරලත් සහතික පත්‍ර ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සහ ඔස්ට්‍රේලියාවේ සහතික ලත් පුහුණු ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සාමාජිකයකු වේ. ඔහු සිය උසස් අධ්‍යාපනය Wharton, Ashridge හා Harrand Business School යන ආයතනවලින් ලබා ඇත.

2011 වසරේ එල්.එම්.ඩී. සඟරාවෙන් නම් කරන ලද මෙරට සාර්ථක ව්‍යාපාරිකයන් දස දෙනා අතරට ජෝර්ජ් ස්ටුවර්ට්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති දිලිත් ජයවීර ගේ නමද ඇතුලත් විය.

1993 වසරේදී කුඩා වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් පිහිටුවීමෙන් ව්‍යාපාරික කේෂ්ත්‍රයට පැමිණෙන දිලිත් ජයවීර ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ නව පරපුරේ ආත්මය නිරූපණය කරමින්, දශක දෙකකට අඩු කාලයකින් සිය දැක්ම හා ව්‍යවසායකත්වය නිසා ට්‍රයඩ්, මේ වන විට විශාලතම හා වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා සන්නිවේදන බලාගාරය බවට පත්වී ඇත. ඔහු, මේ වනවිට ආර්ථිකයේ විවිධ අංශවල ව්‍යාප්ත වී ඇති සමාගම් තිස් හයක අධ්‍යක්ෂ මණ්ඩලවල ඇතුලත්වී සිටින අතර ඉන් ත්‍රිත්වයක් ප්‍රමුඛ ලැයිස්තු ගත ආයතන වේ.