වියට්නාමයේ සෝදා නැවත විකුණන කොන්ඩම්

September 24, 2020 at 8:45 PM

භාවිතා කරන ලද උපත් පාලන කොපු සෝදා පවිත්‍ර කොට යළි විකිණීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට වියට්නාම පොලිසිය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

වියට්නාම පොලිසිය සඳහන් කළේ ගබඩා කාමරයක මළු වල අසුරා තිබු කොන්ඩම් 345,000ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බවයි.

පොලිසිය සඳහන් කළේ කොන්ඩම් කිලෝග්‍රෑම් 360ක ප්‍රමාණයක් මෙම මළුවල තිබු බවයි.

මෙම කොන්ඩම් තොගය සමග එක් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ භාවිතා කරන කොන්ඩම් උණු වතුරෙන් පිරිසිදු කොට හොඳින් වේලා ඇසුරුම් කොට යළි විකිණීමට කටයුතු කරන බවයි.

මෙම කාන්තාව සඳහන් කළේ සෝදා වෙලා ඇසුරුම් කොට ලබා දෙන කොන්ඩම් කිලෝග්‍රෑමයක් වෙනුවෙන් තමන්ට අමෙරිකානු ඩොලර් ශත 17ක් ලැබෙන බවයි.

වියට්නාමයේ ප්‍රධාන මාධ්‍ය ආයතනය වන VTV සඳහන් කළේ මිට පෙර මේ අයුරින් කොපමණ කොන්ඩම් ප්‍රමාණයක් විකුණා ඇත්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවයි.