හිටපු ජනපති සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට හෙට දිනයේ පාස්කු කොමිසම හමුවේ පෙනී ඉන්නැයි දැනුම් දෙයි

September 23, 2020 at 4:44 PM

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු තුමන්ලා තිදෙනාට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙට (24) දිනයේ දී පෙනි සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා. මීට පෙර ඔවුන්ට දන්වා තිබුණේ අද දිනයේ පස්වරු 2ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔවුන්ට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජනාධිපති කොමිසම හමුවේ කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබද පෙර දැනුවත්ව සිටින්නට ඇතැයි සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාද පසුගිය 20 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

මේ අතර අද දිනයේත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු කොමිසමට පැමිණ තිබෙනවා. ඒ කොමිසමේ සාක්ෂි සඳහා ඇහුම්කන් දීමටයි. හිටපු ජනාධිපතිවරයා ඊයේ දිනයේත් කොමිසමේ සාක්ෂි ලබාදෙන අයුරු නැරඹීමට පැමිණ සිටියා.