රයිනා යළි ඉන්දියාවට ගියේ දෝනි සමග බහින්බස්වීමෙන් : ඔහුගේ පාඩුව ඉදිරියේදී දැනේවි – චෙන්නායි කණ්ඩායමේ ප්‍රධානියා කියයි

August 31, 2020 at 9:11 PM

ජයග්‍රාහී මානසිකත්වය අධික වන විට ඔවුන්ගේ හැසිරීම් වෙනස් වන බවත් අයි.පී.එල් තරගාවලිය ආරම්භවී නොමැති බැවින් ඉදිරියේදී සුරේෂ් රයිනාට ඉන්දියානු රුපියල් කෝටි 11ක ආදායමක් අහිමි වනු ඇති බව ඉන්දිය ක්‍රිකට් කමිටුවේ හිටපු සභාපති එස්. ශ්‍රීනිවාසන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන සුරේෂ් රයිනා ඉන් ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

මෙම තරගාවලියෙහි ක්‍රීඩා කළ යුතු බවට කිසිදු ක්‍රීඩකයෙකුට බලපෑම් නොකරන බවත්, අකමැති ක්‍රීඩකයින් හට ඉන් ඉවත්ව යා හැකි බවත්, චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි හට මෙම අවස්ථාවට ඉතා හොඳින් මුහුණ දිය හැකි බව ශ්‍රීනිවාසන් පවසනවා.

පසුගියදා පෞද්ගලික හේතුවක් මත සුරේෂ් රයිනා අයි.පි.එල් තරගාවලියෙන් ඉවත්ව යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.

කෙසේ වෙතත, ශ්‍රීනිවාසන් සිදු කළ ප්‍රකාශයත් සමඟ සුරේෂ් රයිනා කණ්ඩායමෙන් ඉවත්වීමට ක්‍රීඩකයින් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතු වන්නට ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඉන්දියාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අධික ලෙස සිදුවන එහෙයින් මෙවර අදාළ තරගාවලි ඩුබායිහිදී පැවැත්වීම ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.

චෙන්නායි කණ්ඩායම ඩුබායි බලා පිටත්ව යාමට මත්තෙන් චෙන්නායිහිදී සිය පුහුණුවීම් ආරම්භ කළ අතර ඊට සුරේෂ් රයිනා දැඩි ලෙස විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් රයිනාගේ විරෝධය නොතකා දෝණි විසින් මෙම පුහුණු කඳවුරු පැවැත්වූ බව සඳහන්.

පසුගියදා චෙන්නායි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියා.

මෙම පිරිසට කොරෝනා ආසාදනයවීමත් සමඟ දෝණි හා රයිනා අතර බහින් බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඔහු අදාළ තරගාවලියෙන් ඉවත්ව යළි ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි ඩුබායි ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වුවත් පළවන මෙම පුවත් සම්බන්ධයෙන් තමන් විමතියට පත්වන බවත් තමන් හා චෙන්නායි කණ්ඩායමේ කළමණාකාරිත්වය අතර කිසිදු මතභේදාත්මක තත්ත්වයක් නොමැති බව සුරේෂ් රයිනා ප්‍රකාශ කර සිටිනවා.