ලංකන් ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට

July 27, 2020 at 7:39 PM

දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට අද (27) රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතය.

සමස්ථ තරග 23 කින් යුතු තරගාවලියේ සියළු තරග කොළඹ ආර්.ප්‍රේමදා, රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය සඳහා කණ්ඩායම් 05 සහභාගි වන අතර එම කණ්ඩායම් නම් කිරීම සිදු වන්නේ කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය නගර මුල් කර ගෙනය.

තරගාවලිය සඳහා සහභාගි වීමට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 කට වැඩි පිරිසක් සහ ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළ පුහුණුකරුවන් 10 දෙනකුට වැඩි පිරිසක් මේ වන විට කැමැත්ත පළ කර ඇත. ඔවුන් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියළු ක්‍රීඩකයන් තරගාවලියට එක් වීමට නියමිතව ඇත.

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා වූ ලංසු තැබීමේ කටයුතු ජුලි 30 වැනිදායින් අවසන් වන අතර තරග කාලසටහන ඉන් අනතුරුව නිකුත් කරනු ඇත.