තරග පාවාදීම සම්බන්ධයෙන් ICC යට කරුණු වාර්තා නොකිරිම ගැන හිටපු ක්‍රීඩා ඇමතිවරයා වගකිව යුතුයි

June 18, 2020 at 8:33 PM

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ප්‍රබල වරදක් වන තරග පාවා දීමේ සිදුවීම් සම්බන්ධයෙන් කරුණු අදාළ අංශ වෙත සැලකර නොසිටීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වරදක් කර ඇති බව ජේෂ්ඨ නීතිඥවරයෙක් වන නිශාන් ප්‍රේමතිරත්න ප්‍රකාශ කර සිටිනවා.

ICC දුෂණ විරෝධී නීති සංග්‍රහය සහ ශ්‍රී ලංකා නීති සංග්‍රහය අනුව ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවන ඕනෑම ක්‍රීඩකයෙකු, තේරීම් කමිටු සාමාජිකයෙකු හෝ කණ්ඩායමට සම්බන්ධ කවරෙකු ක්‍රීඩාවට අදාළ දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් වන තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකයේ අවධානයට යොමු කිරිමට බැඳී සිටිනවා.

2011 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමෙන් අනතුරුව ඊට අවසන් අනුමැතිය ලබාදීම සිදුකලේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ විසින්මයි.

තරග පාවාදීම් හෝ ක්‍රීඩාවට අදාළ වෙනත් විෂමාචාර සිදුවීමක් සම්බන්ධයෙන් ICC ය වෙත වාර්තා කිරිමට අපොහොසත් වීම මෙරට මෙන්ම ICC දුෂණ මර්ධන නීති සංග්‍රහය අනුව සිදුකර තිබෙන වරදක් බවයි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩාවන්ට සම්බන්ධ අපරාධ වැළැක්විමේ පනත ක්‍රියාත්මක කළද මෙම සිදුවීම එම නීතියට අයත් නොවන බව පැවසූ නීතිඥ ප්‍රේමතිරත්න සිදුකළ හැකි හොඳම දේ මෙම චෝදනාව සම්බන්ධයෙන් වන කරුණු ICC දුෂණ මර්ධන කමිටුවට දැනුම් දීම බව කියා සිටියා.