මට සහ තිසරට ඔවුන් ආමන්ත්‍රණය කලේ “කළු” කියලා – හිටපු ක්‍රිකට් නායකයාගේ හෙළිදරව්ව

June 7, 2020 at 11:24 AM

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තමන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා හටද වර්ගවාදී ආමන්ත්‍රණයන්ට මුහුණ දීමට සිදුවූ බව හිටපු බටහිර ඉන්දීය කොදෙව් විස්සයි 20 නායකයා ඩැරන් සැමි ප්‍රකාශ කර සිටිනවා.

ඩැරන් සැමි කියා සිටියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විට තමාට සහ තිසර පෙරේරාට මෙලෙස ‘කළු’ නමින් කතා කළ බවයි.

” කළු” නමින් ආමන්ත්‍රණය කිරිමේ තේරුම ශක්තිමත් කළු මිනිසෙක් ලෙස තමන් පළමුව සිතා සිටියත් මෑතකදී සිදුව ඇති සිදුවීම් හරහා තමන්ට අත්විදීමට සිදුව ඇත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලිවී ඇති බවයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් ඇමරිකානු කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් එරට දැනට සිදුවෙමින් පවතින විරෝධතා සම්බන්ධයෙන් හිටපු කොදෙව් නායකයා මීට පෙරද අදහස් දක්වා තිබුණා.

සමාජ අසාධාරණයට හා වර්ගවාදයට එරෙහි සටනට සහය දෙන ලෙස පසුගියදා සැමී අයිසීසී සහ අනෙකුත් ක්‍රිකට් මණ්ඩලවලින් ඉල්ලා සිටියා.