ජන ජීවිතය පවත්වාගෙන යාමට සහය දෙන්න- ජනපති වෘත්තීය සමිතිවලින් ඉල්ලයි.

May 3, 2022 at 8:49 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අද පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී වෘත්තිය සමිති නියෝජිතයෝ පිරිසක් සාකච්ඡාවක නිරත වූහ.

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූ බවත් තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් ඔවුහු සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අපේක්ෂිත වැඩ වර්ජනය, සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක්

වෘත්තිය සමිති නියෝජිතයන්  පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේද වලින් ඉවත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම මේ පිටුපස ඇති දේශපාලන අරමුණ වේ.

එය වටහා ගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නොතැබිය යුතුය.

-ජනපති

පසුගිය 28 වැනිදා පැවති වැඩ වර්ජනය නොතකා රාජකාරිය ඉටු කළ සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා පවතින තත්ත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුම වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියේය.