IMF සමග කටයුතු කිරීමේදී ඇමෙරිකානු සහය දෙන්නැයි ජනපති ඇමෙරිකානු තානාපතිනිය ට කියයි

March 28, 2022 at 5:16 PM

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ඇය මේ බව සඳහන් කළාය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී රජය දැක්වූ සහාය තානාපතිනියගේ ප්‍රසාදයට ලක් විය.

 

පසුගිය කාලයේදී මෙරට ආර්ථිකයේ බිඳ වැටීමට හේතු වූ කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජය ගත් තීරණය පැසසීමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගුකාලීනව ඉතා වැදගත් බව පෙන්වා දුන්නාය.

“කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ ද අඩුආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නවා”

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.