යුද්ධය එපා! පුටින්ට රටෙන්ම විරෝධය

February 25, 2022 at 3:51 AM

යුක්‍රේනයේ පහරදීම් සහ ආක්‍රමණ නවතන්නැයි බලකරමින් රුසියානු ජනතාව වීදි පුරා පා ගමන් සහ උද්ඝෝෂණ වල නිරත වෙති.

මොස්කව් සහ ශාන්ත පීටස්බර්ග් නගරවල පැවැත්වෙන මෙම යුද විරෝධී පෙළපාලි සඳහාඑරට ජනප්‍රිය චරිත රැසක්ම එක්ව සිටිති.

ඔවුන් අතර නළු නිළියන් , ක්‍රීඩකයින් ඇතුලු විශාල පිරිසක් සිටින බවද වාර්තාවේ.

කෙසේ වෙතත් රුසියානු පාලනය එරට ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇත්තේ මෙම පෙලපාලි විසුරුවා හරින ලෙස්‍යි.

ඒ අනුව එම පෙලපාලි වල නිරත වූ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබේ.

යුක්‍රේනයේ තත්ත්වය

 

මේ අතර යුක්‍රේනයේ ගොඩබිම් ප්‍රහාර සඳහා කටයුතු කරන රුසියානු හමුදා එරට චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන ඇතිබවද වාර්තා වේ.

කෙසේ වෙතත් එම බලාගාරය කිසිදු විනාශයකට ලක් ව නොමැතිබවයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වියානා නුවර සිට වාර්තා කර ඇත්තේ.

මේ ඊයේ දහවල් කාලයේ ප්‍රහාර එල්ලවූ  යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශවාසීන් ගතවූ රාත්‍රිය උමං මාර්ග තුළ ගතකළ ආකාරයයි.

කාර්කිව් ප්‍රදේශයේ මහල් නිවාසයකට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් මිය ගිය ගණන තවමත් අප්‍රකාශිත ය.

මේ අතර යුක්‍රේනයෙන් පලා යන ජනතාවද ඉහළ යමින් තිබේ. කීව් අගනුවරින් පිටවන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පැය ගණනාවක් තිස්සේ පවතී.

මෙම තත්ත්වය වාර්තා වන්නේ යුක්‍රේන ජනපති ව්ලදිමීර් සෙලෙන්ස්කි එරට තුළ හමුදා නීතිය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.

රට රැකීමට පෙරට එන ඕනෑම පුරවැසියෙකුට ආයුධ සපයන ලෙසද ඔහු නියෝගකර තිබේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ වයස අවුරුදු 18-60අතර පුද්ගලයන් ට රටින් පිටවීම තහනම් කරමින් යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නියෝග නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.