නගරයක සිඟමන් යදිමින් ජීවත් වූ යාචකයෙක් ඊයේ හදිසියේ මියගොස් තිබූ අතර ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී විශාල මුදලක් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් තිබුණේ හක්මන නගරයේ ජීවත් වූ යාචකයෙක්.
ඔහුගේ කලිසමේ සාක්කු කිහිපයක් තිබී ඇති අතර එම සාක්කුවල රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් තිබී සොයා ගැනුණා.
හක්මන කෝංගල නැගෙනහිර ප්රදේශයේ පදිංවිව සිටි 69 හැවිරිදි ඊ. එස්. විමලදාස නම් යාචක පුද්ගලයෙක් එලෙස මියගොස් තිබූ බව පොලීසිය පැවසුවේ.
අදාළ පුද්ගලයා මියගොස් තිබුණේ ඔහු පදිංචිව සිටි නිවස අසල කන්දකින් පහළට පෙරළීයෑමෙනි. තනිව ජීවත්වී ඇති එම පුද්ගලයා මීට පෙර හේවිසි වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.
හක්මන හදිසි මරණ පරීක්ෂක ඩී. ගලගම මහතා විසින් මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකළ අතර මරණ පරීක්ෂණයේදී සාක්ෂිදීමට පවා කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත.
පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාට කිසිදු ඥාතියෙකු සිටින බවටද තොරතුරු නොමැති බවයි. පසුව පොලීසිය ඔහු නැවතී සිටි කාමරය පරීක්ෂා කර ඇති අතර එහි තිබූ කලිසමක මෙම මුදල් තිබී සොයාගෙන ඇත.
එහි රහස් සාක්කු කිහිපයක් තුළ මෙම මුදල් තිබූ බව පොලීසිය සඳහන් කර සිටියේ.