භාරත සිනමාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලද සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට වයස අවුරුදු 92ක්.
කොරෝනා රෝගයට මෙන්ම, නියුමෝනියා තත්ත්වය නිසා මුම්බායි නුවර රෝහලකට පසුගිය මාසයේ ඇතුළත් කෙරුණු ලතා මංගේෂ්කාර් ඉන් සුවය ලැබූ බව පසුගිය ජනවාරි 30 වනදා ප්‍රකාශයට පත්කෙරුණා.
එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යළි පිරිහීම නිසා මුම්බායි පිහිටි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇයව ඇතුලත් කිරීමට පියවර ගැනුණා. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පරම්පරා ගණනාවක් භාරත සිනමාවේ ගීත කෝකිලාවිය වූ ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36 කින් ගීත දහස් ගණනක් ගායනා කර ඇති අතර, 2001 වසරේදී භාරත් රත්න, සම්මානයෙන් පිදුම් ලැබූයේ ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය ලැබූ දෙවන ගායිකාව බවට පත්වෙමින්.