පාපැදියෙන් වැඩට එන්න සේවකයින්ට යෝජනාවක්

January 26, 2022 at 3:41 PM

වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමට ද තීරණය කර ඇත.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් වැය කිරීමට සිදුවන බවයි.

සිදුකරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇතැයි ද පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ.