සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව විවෘත කිරීම කල් යයි

January 26, 2022 at 11:38 AM

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ජනවාරි මස 30 වනදින වන විට එහි මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණා.

කෙසේවෙතත් බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන් අදාළ ප්‍රමාදය සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24 වනදා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණා. අදාළ නෞකාව අද දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

බොරතෙල් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි විවෘත කිරීම, විනිමය ගෙවීම් ඇතුළු සියලු අවශ්‍යතාවන් මේ වන විට සාර්ථකව සම්පුර්ණ කර ඇති බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.