බොරැල්ල දේවස්ථාන බෝම්බයට විශ්‍රාමික වෛද්‍යවරයකු අත්අඩංගුවට

January 19, 2022 at 8:19 AM
බොරැල්ල දේවස්ථානයකට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.

මීට පෙර ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුවයි සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුයි.

එම සැකකරුට මුදල් මෙන්ම අදාළ අත්බෝම්බයද ලබාදී ඇත්තේ, මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද මේ වන විට තොරතුරු හෙළිවෙමින් පවතින බවත් එයට හේතුව මෙතෙක් නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.