කින්නියාවේ පාරු අනතුර ගැන නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පරීක්ෂණයක් අරඹයි. ප්‍රකෝපවූ ජනතාවගෙන් ඉල්ලීමක්.

November 23, 2021 at 4:48 PM

ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය  පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් මහතාට නියෝග කර ඇත.

අදාළ පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදු කළේ කවුරුන්දැයි ඇතුළු කරුණු කාරණා ගැන වහාම තමාව දැනුවත් කරන ලෙසද ආණ්ඩුකාරවරිය අවධාරණය කර ඇත .

පරීක්ෂණය පැවැත්විම සඳහා පළාත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබේ .

ඊට අමතරව විශේෂ පොලිස් පරීක්ෂණයක්ද සිදු කරන ලෙස ආණ්ඩුකාරවරිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති අතර මෙම අවස්ථාවේ ඉතා සන්සුන්ව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරිය ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලිමක් කරයි .

 

අද පෙරවරුවේ මෙම පාරු අනතුරින් පාසල් සිසුන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පිරිසක් රෝහල්ගත කෙරිණ .
අනතුරුව ප්‍රකෝපවූ ප්ප්‍රදේශවාසීන් නගරයේ උද්ඝෝෂණ සහ කලහකාරී ලෙස හැසිරුණු අතර ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු ගේ නිවසකටත් පහර දී ඇත.