අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කොට පිං පැමිණවීම, ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට ආශිර්වාද කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් පස්වන විධායක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් ලෙස එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් “සඳහිරු සෑය” ඉදිකරනු ලැබීය. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ගිහි පැවිදි සැදැහැවත්හු ඊට මූල්‍ය හා ශ්‍රම පරිත්‍යාග ලබා දුන්නා.
ක්‍රි.ව. 301 දී මහසෙන් මහරජු අනුරාධපුරයේ, ජේතවනාරාමය ඉදි කළ පසු ලක්දිව ඉදි වූ විශාලතම චෛත්‍ය මෙයයි. 2010.11.22 දින “සඳහිරු සෑ චෛත්‍යයේ” ඉදිකිරීම් ඇරඹුණු අතර 2014.11.22 දින ධාතු නිධානෝත්සවය කිරීම සිදුවිය.
උස අඩි 282යි අගල් හයක් වන මෙහි වට ප්‍රමාණය අඩි 800කි. බුබ්බුලාකාර හැඩයකින් යුත් මෙම චෛත්‍යයෙහි කපිලවස්තු ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතු තැන්පත් කොට ඇත. චෛත්‍යයේ තැන්පත් කොට ඇති චූඩා මාණික්‍යයේ උස අඩි 3යි අඟල් 6කි. මෙහි මැණික් ගල් 1895ක්, රත්‍රන් මෙන්ම මුතු ද ඔබ්බවා තිබේ.
ජය පිරිත් සජ්ඣායනා, දේව ආරාධනා, හේවිසි හඬ මධ්‍යයේ “සඳහිරු සෑ රඳුන්ගේ” ඵලකය සහ කොත් වහන්සේ නිරාවරණය ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ අතින් සිදුවිය.
රටට සාමය උදා කිරීමට කැපකිරීම් කළ සියලු රණවිරුවන්ටත්, යුද්ධයේදී මියගිය සියලු පාර්ශවයන්ටත් සෑය නමදින සෑම මොහොතකම පිං අනුමෝදන් වන බව මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.
රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැඳුණු ආරක්ෂක හමුදාව ගැන තමාට විශාල විශ්වාසයක් තිබිණ. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ ද සහාය ඇතිව එම දරුවන්ගෙන් සැඳුම්ලත් ආරක්ෂක අංශ නිවැරදිව මෙහෙයවමින් රටට සාමය උරුම කිරීමේ වගකීම ඉටු කරනු ලැබුවා.
ලේ ගංගා නතර කර, මරණය බිය තුරන් කර රට අභය භූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ “සඳහිරු සෑය” සමස්ත ලෝකවාසීන්ටම වන්දනමානයට දායාද කර ප්‍රාර්ථනා කරනුයේ අනාගතයේ කිසි දිනෙක එවැනි සිදුවීම් යළි සිදු නොවේවායි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
අප රට කොතරම් කුඩා වුවත් අපට අපේ රටේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන. අපේ රටේ නිදහස වෙනුවෙන් කැපවූ රණවිරුවන්ගේ ආරක්ෂාවත් ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් අපට උරුම කළ නිදහසත් රැකගැනීම වර්තමානයේත්, අනාගතයේත් බිහිවන නායකයන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනු ලැබීය.
“සඳහිරු සෑ රඳුන්” ඉදිකිරීමේදී සිදුකළ මෙහෙය ඇගයීමට ලක් කරමින් ත්‍රිවිධ හමුදා සේනාංක වෙත ජනාධිපතිතුමා අතින් තිළිණ සහ සහතිකපත් පිරිනැමිණ.
