විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල නිසයි අද ජනතාව දුක්විඳින්නේ – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

November 17, 2021 at 3:49 PM

වර්තමානයේ තිබෙන සියලු ප්‍රශ්නවලට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවට ඇතැමුන් චෝදනා කළත් ඒ සියල්ල දීර්ඝ කාලයක් පුරා පැවති තත්ත්වයක් බව හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල අද වනවිට ජනතාව භුක්ති විඳිමින් සිටින බවයි අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මම මේ සභාවේ දැක්ක දෙයක් තමා සමහර වාද විවාදවලදී මේ සියලුම අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුව පැත්තට තල්ලු කරනවා. යහපාලනයේ මේවා වුණේ කියලා. ඉතින් යහපාලන නායකයත් ඉන්නේ ආණ්ඩුවේ. ඉතින් මම කියන්නට ඕනේ අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුව තුළ ඇති වුණ ඒවා නෙමෙයි. දීර්ඝ කාලයක් පුරා ඇති වුණ ප්‍රශ්න. විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල අද ජනතාව දුක්විඳින්නේ. විවෘත ආර්ථිකයේ හොඳ පැත්ත වගේම විශේෂයෙන්ම විදේශ වත්කම් හා මුල්‍ය කළමනාකරණයේ තිබුණු අනිසි කළමනාකරණය දේශපාලඥයින්ට ඕන විදියට කටයුතු කිරීම, අධි සුඛෝපභෝගී දේවල් පිටරටින් ගෙනඒම වැනි කාරණා සැලකිල්ලට ගත්විට මුලික වශයෙන් ම මේක අවුරුදු 30 – 40ක ප්‍රශ්නයක්. ඒ නිසා සාමාන්‍ය සම්ප්‍රදායක් මේ රටේ ඕනෙම ආණ්ඩුවක් බලයට ආවහම තිබුණු ආණ්ඩුවට දොස් කියන එක. හැම ආණ්ඩුවක් ම එහෙම තමා. නමුත් ඒක සම්ප්‍රදායික සටන් පාඨයක්. යහපාලන ආණ්ඩුව තුළ විශාල වැඩකොටසක් මේ රටේ ජනතාවට අපි ඉෂ්ඨ කළා. අඩුපාඩුකම් තිබුණා. ඕන තරම් අඩුපාඩුකම් සිද්ධවෙනවා.”