2022 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. එය ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැයයි. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට ඉතිහාසයේ 76 වන අයවැය වාර්තාවයි.
අයවැය යෝජනා අද ඉදිරිපත් කිරීමෙන් පසු හෙට සිට දෙසැම්බර් 10 වනදා තෙක් අයවැය විවාදයේ දෙවැනිවර කියවීමේ විවාදය දින 07ක් සහ කාරක සභා අවස්ථා විවාදය දින 16 ක් පැවැත්වෙනවා. දෙවන වර කියවීමේ විවාදය හෙට සිට ලබන 22 වනදා දක්වා පැවැත්වෙන අතර එම ඡන්ද විමසීම එදින පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි. කාරක සභා විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා.
අයවැය විවාදය සමයේ පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 09.30ට ආරම්භ වන අතර පෙරවරු 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ සඳහා වෙන් කර තිබෙනවා. පෙරවරු 10යේ සිට පස්වරු 05 දක්වා විවාදය සඳහා ද පස්වරු 05 හේ සිට පස්වරු 05.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා ද වෙන් කර තිබෙනවා.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05ට පැවැත්වෙන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ. අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට සහභාගි වීමට අවසර ලබාදී තිබෙනවා.