කළුගඟ සහ කුඩා ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී සිටින්නේ.
එමෙන්ම අදාළ ප්‍රදේශවල පහත් බිම් හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ටද අවදානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
පසුගිය පැය 24 තුළ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කුකුලේ ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ ඇද හැලුණු වාර්ෂාපතනය හේතුවෙන් ගංඟාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මේ වන විට අත්තනගලු ඔය, තිහාරිය ආසන්නයේ පිහිටි දූනමලේ ජල මිනුමේ ජල මට්ටම මීටර් 4.95ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල, ගම්පහ සහ ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බීම් ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවධානමක් ඇති බව දන්වා ඇත.
එම ප්‍රදේශවල පහත් බිම්වල පදිංචි ජනතාවට සහ පහත්බිම් හරහා වැටී ඇති මාර්ග භාවිතා කරණ රියදුරන්ට මේ සම්බන්ධයෙන් අධි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී තිබේ.
මේ අතර, ඉදිරි පැය 24 තුළ දී ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අද සවස් කාලයේ සිට නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික ප්‍රජාව එම මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට ඉතා තද වැසි ඇතිවිය හැකිය.
වයඹ සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.