ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවුලපිටියේ, වැල්ලපිට පිහිටි එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සඳහා එම පුද්ගලයා විසින් විශේෂ විධානයක් සකස් කර එම දත්ත මකා දමා ඇති බවයි.
දත්ත මකා දැමූ දින විධානය යොමුව තිබූ IP අංකය සහ සැකකාර මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පරිගණකයේ IP අංකය සමාන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
එමෙන්ම පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එම සැකකාර ඉංජිනේරුවරයා නිවසේ සිට දත්ත මකා දැමීම සඳහා අදාළ විධානය සකස් කර ඇති බවයි.
මූලික ප්‍රශ්න කිරීම්වලදී අත් වැරදීමකින් එම විධාන යොමු කළ බව එම ඉංජිනේරුවරයා ප්‍රකාශ කළද පසුව කළ පරීක්ෂණවලදී එය එසේ නොවන බව හෙළිව ඇතැයි පොලිීසිය සඳහන් කළේ.
කුමන අරමුණකින් එම දත්ත මකා දැමීම සිදුකළේද යන්න පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගේ උපදෙස් මත ඩිජිටල් සහ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා විසින් ඊයේ පෙරවරුවේ සැකකාර ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.