කුවේට් අගමැතිවරයාගෙන් ජනපති සිදුකළ ඉල්ලීම

September 21, 2021 at 8:49 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් – හමාඩ් අල් – සබා (Sheikh Sabah Al – Hamad Al- Sabah මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදු කෙරුණා.

දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කර සිටියේ.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවා.

කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිතුමා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දෙනු ලැබුවා.

වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිතුමා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර සිටියා.

ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක් විය.