සිය ඉතාලි චාරිකාවේදී පාප්වහන්සේ බැහැදැකීම පිණිස වතිකානය වෙත යාම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර හෝ එවැනි ආරාධනයක් ලැබී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා නොබෝ දිනකින් ඉතාලියේ සංචාරය කරන්නේ එරට පැවැත්වෙන උත්සවයක් සඳහා සහභාගී වීම සඳහා බවයි.
යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එම උත්සවයෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඉතාලියෙන් පිටත්වීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අග්‍රාමාත්‍ය කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලි සංචාරයේදී පාප්වහන්සේ බැහැදැකීමට නියමිත බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වතිකානය දැනුවත් කිරීමට රජය ගෙන ඇති තීරණය හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කාදිනල් හිමියන් කියා සිටියේ එම තීරණය අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
