රජයේ වියදම් දැඩි ලෙස සීමා කරන්න : මුදල් ඇමතිගෙන් උපදෙස්

August 31, 2021 at 8:41 AM

රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

මේ වසරේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 2,69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම ,සහනාධාර දීම ඇතුළු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම තවත් වැඩිවනු ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .

සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .

සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.

තම ආයතන වල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .

වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත

(උපුටා ගැනීම : ලංකාදීප)