දැඩි විකෘතිතාවයකින් යුත් කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනේ

August 30, 2021 at 11:18 AM

කොවිඩ් මර්ධන එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකිවී ඇති බව එරට බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

C.1.2 නව කොවිඩ් ප්‍රභේදයේ N440K සහ Y449H යන විකෘති තාවයන් පෙන්නුම් කරනු ලබන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. මේ නිසා කොවිඩ් -19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නතින් මිනිස් සිරුරේ නිපැදවෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමට මෙම C.1.2 වෛරසයට හැකියාව ලැබෙනු ඇති බවයි විද්‍යාඥයින් විශ්වාසය පළකරන්නේ.

C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන මෙම නව කොවිඩ් ප්‍රභේදය පළමු වරට මෙම වසරේ මැයි මාසයේදී හඳුනා ගනු ලැබුවා.

මෙම C.1.2 ප්‍රභේදය ඉකුත් ජනවාරි මාසයේදී හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

මෙම වෛරසය වුහාන් වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘති තාවයෙන් යුක්ත බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

C.1.2. වෛරසය පළමු වරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් පසුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් වලින්ද වාර්තා වී ඇති බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

මෙම C.1.2 වෛරස ප්‍රභේදයේ අනුක්‍රමික සංඛ්‍යාව දකුණු අප්‍රිකාව සහ ලොව පුරා රටවලින් මේ දක්වා වාර්තා වී ඇත්තේ අඩු සංඛ්‍යාවක් විය හැකි බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් මෙම නව වෛරස ප්‍රභේදය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘති භාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර සිටිනවා.

මේ වන විට ලොවපුරා වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා නව C.1.2 ප්‍රභේදය භයානක වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමට තවදුරටත් පර්යේෂණ සිදුකිරිමට අවශ්‍යය බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.