මෙරට ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ගැන නවතම අනාවරණය

July 23, 2021 at 4:14 PM

වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දිවයිනේ ප්‍රදේශ 14කින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා. ඉකුත් සතියේ සිදුකළ ජාන විශ්ලේෂණ වාර්තා අනුව මෙම ආසාදිතයින් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ව්‍යාප්ත කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනු ලබන nextstrain.org වෙබ් අඩවියට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන,අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ මහභාගේ සහ මිගමුව ප්‍රදේශ වලින් ආසාදිතයින් වාර්තා වී ඇත. ඊට අමතරව කළුතර – බේරුවල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, දඹුල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඉකුත් සතියේදී ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී ඇත.

දිවයිනේ මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 61ක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

දැනට සිදුකර ඇති පරික්ෂා කිරීම් අනුව මේ පිරිස හමුවෙලා තිබෙන්නේ. මිට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සමාජයේ සිටින්න පුළුවන්. ඒ නිසා සියලු දෙනා අවධානයෙන් සහ නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.