ගුරු – විදුහල්පති සංගම් 30ක් අද විරෝධතාවයක : වැටුප් වැඩි කරන්න ජනතාව මත බර පටවන්න බැහැ – ඇමති බන්දුල කියයි

July 22, 2021 at 7:36 AM

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පෙරේදා දිනයේ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවද අසාර්ථක වීම හේතුවෙන් ගුරු විදුහල්පති සංගම් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

මේ අතර ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරනවා නම් ජනතාව මත පනවන බදු ප්‍රමාණය වැඩි කළ යුතු බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා. මෙම අවස්ථාවේදී බදු පීඩනයක් ජනතාව මත පැටවිය නොහැකි බව කී ඇමැතිවරයා එමනිසා ඉල්ලීම් පසෙක තබා දරුවන්ට ඉගැන්වීමට කටයුතු කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් බදු වැඩි කිරීම, රාජ්‍ය දේපළ විකිණීම හෝ අසීමිත ලෙස ණය ලබා ගැනීමට රජයට සිදුවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ව්‍යාපාර වසා තිබියදී බදු ගෙවන ලෙසට ආයතනවලට කිව නොහැකි බවද මේ නිසා ආණ්ඩුවට ආදායමක් නැති බව පැවසූ ඇමැතිවරයා යහපාලන රජය ගත් ණය ප්‍රමාණයට වඩා පස් ගුණයකින් ණය ගැනීමට රජයට සිදු වේදැයි කිව නොහැකි බවද සඳහන් කර සිටියා.