රේගුවෙන් රජයට සිදුවූ බිලියන ගණනක බදු පාඩුව කෝපා කමිටුවේදී හෙළිවෙයි

July 21, 2021 at 3:15 PM

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයක් අය කර ඇති බවත්, එමගින් පසුගිය කාලය තුළ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) නිරීක්ෂණය කොට තිබේ.

මෙම නිරීක්ෂණ අන්තර්ගතව ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයට අදාළ පළමුවැනි වාර්තාවේය.

ශ්‍රී ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාල වාර්තාවේ නිරීක්ෂණ තුළ අන්තර්ගතව තිබේ.

වාර්තාවේ නිරීක්ෂණ වලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබේ.

මෙයට අමතරව 2010-2019 කාල පරිච්ඡේදය තුළ වෑන් රථ 44ක් අඩු බදු ප්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර, මගී හා භාණ්ඩ ප්රනවාහනය කිරීමේ අරමුණෙන් එම වාහන පසුව ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1300කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී තිබේ.

මහජන ඇමතුම් උපකරණ සවිකර විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනය රේගුව විසින් නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් මිලියන 56ක් බව වාර්තාවේ තවදුරටත් නිරීක්ෂණය කොට තිබේ.

මෙලෙස සිදුවන අක්‍රමිකතා වලක්වා ගැනීම සඳහා කාරක සභාව විසින් විශේෂ කාර්යය වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ භාන්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බව නිරීක්ෂණය කර තිබේ.