විදුලිය බිඳවැටීම හේතුවෙන් 475,000ක පමණ පිරිසකට බලපෑම් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. මේ වන විට විදුලිය බිඳ වැටීම් 12,000ක් පමණ වාර්තා වන බවත් විදුලිය සැපයීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.
ගාල්ල, මාතර, කිරිබත්ගොඩ, මහනුවර, පේරාදෙණිය, කුලියාපිටිය, කුරුණැගල, කැලණිය, රත්මලාන සහ හලාවත යන ප්‍රදේශවල විදුලිය බිදවැටීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර පැවැති අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ආපදා තත්ත්වයක් හටගෙන තිබේ.
මධ්‍යම කදුකරයේ ස්ථාන රැසක මාර්ග වලට පස් කඳු කඩා වැටීමෙන් මාර්ග අවහිරතා වාර්තා වී ඇති අතර ගම්පොල, දොලොස්බාගේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 76 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.
අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.
අධික වැසි සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කර ඇති අතර ඒ හේතුවෙන්, බුලත්සිංහල මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී ඇත.
පවතින වැසි සමග ඉදිරි පැය 24 තුළ කැලණි, ගිං, නිල්වලා ගංගා ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.