නිවසට ඇතුළු වූ සොරාට “ක්‍රිකට් පිත්තෙන්” පහරදී ඝාතනය කරයි

July 10, 2021 at 12:03 PM

ඊයේ (09) වත්තල, ඇවරියවත්ත ප්‍රදේශයේ නිවසකට සොරකම් කිරීම සඳහා ඇතුළු වූ බව කියන පුද්ගලයෙකුට අදාළ නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය, ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකකවරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයාට නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පහරදීම සිදුකර ඇත්තේ ක්‍රිකට් පිත්තකින් බවට අනාවරණය වී ඇති බවත් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති 32 හැවිරිදි අයෙකු බව ඔහු පැවසුවේ.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා කඩවත, වත්තල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල සිදු වූ ගෙවල් බිඳුම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 96 වන වගන්තිය අනුව, යම් ආකාරයක ගෙවල් බිඳුමක් රාත්‍රී කාලයේදී සිදුවන විට යම් පුද්ගලයෙකුගේ මරණය දක්වා බලය පාවිච්චි කිරීමේ හැකියාවක් පවතින බවට නීතියේ සඳහන් බව ඔහු පැවසුවේ.

මේ සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය වැලිසර අධිකරණය සිදු කර ඇති අතර අද දින පී.සී.ආර්. පරීක්ෂණකින් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන බව ද ඔහු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වත්තල පොලිසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.