ඉදිරියේදීත් විරෝධතා පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා : අමාත්‍ය සරත් වීරසේකර

July 9, 2021 at 12:13 PM

විරෝධතාවයේ යෙදෙන පුද්ගලයින්ව නිරෝධායන පනතේ විධි විධාන උපයෝගී කර ගනිමින් මර්ධනය කිරිමට කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද චෝදනා කර සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරමින් කියා සිටියේ බලහත්කාර ලෙස නිරෝධායන පනතට මුවාවී පොලිසිය විසින් සාමාන්‍ය ජනතාව පැහැර ගෙන යෑමක් බවයි.

” වෘත්තීය සමිති විසින් පවත්වනු ලබන විරෝධතා මර්ධනය කිරිමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා. එහිදී විරෝධතාකරුවන් අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසුව PCR පරීක්ෂණයක් සිදුනොකොට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. PCR පරීක්ෂණයක් නොකර කිසිම අයෙක්ව නිරෝධායනයට යොමු කරන්න විදිහක් නෑ” යැයි මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියා.

“නිරෝධායන රීති සම්බන්ධයෙන් නිසි බලධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයායි. නමුත් එවැනි රීතින් වලට මුවා වෙලා ජනතාවගේ අයිතිවාසිකමක් වන විරෝධතාවය පැවැත්වීමේ මුලික අයිතවාසිකම් කඩ කිරීමට ඉඩ දිය නොහැකි” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අදහස් දක්වමින් කියා සිටියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මහජන ඒකරාශීවීම් සහ විරෝධතා පැවැත්වීම තහනම් කරන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට පැහැදිලිව උපදෙස් ලබාදීලා තිබෙනවා.

“ඉදිරියේදීත් විරෝධතා පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුකරනවා” අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියා.